වයස අවුරුදු හයක දැරියක දූෂණය කර මරා දැමීමේ සිදුවීම මූලික කරගනිමින් පාකිස්ථානයේ කසූර් නගරයේ රජයේ ගොඩනැගිලි ගිනි තබමින් ජනතාව කලහකාරී ලෙස හැසිරෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
සායිනාබ් නමැති මියගිය දැරියගේ දේහය පසුගිය අඟහරුවාදා නගරයේ කුණුගොඩක තිබියදී සොයා ගැනුනේ ඇය අතුරුදන් වීමෙන් දින කිහිපයකට පසුවය.
මෙම දැරිය කිසියම් නාඳුනන පුද්ගලයෙකු විසින් රාත්‍රී කාලයේදී රැගෙන යන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන කිහිපයක්ද මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුණි.
එමෙන්ම, පැහැර ගැනීම සිදුකළේ යැයි සැක කෙරෙන පුද්ගලයාගේ හැඩරුව දැක්වෙන චිත්‍රයක්ද ප්‍රසිද්ධියට පත් කර තිබුණි.
කසූර් නගරයේ පොලීසිය පවසන්නේ පසුගිය වසර දෙකක කාලය තුළ මේ ආකාරයෙන් කුඩා දැරියන් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ සිදුවීම් 12ක් වාර්තා වූ බවයි.
මියගිය දැරියගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ලෝකය අවසානය කරා පැමිණියා වැනි හැඟීමක් තමන්ට ඇති වූ බවයි.
දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව ඇය දරුණු වද හිංසනයකට ලක්ව ඇති බව අනාවරණය වූ අතර, මුහුණේ හා ශරීරයේ තුවාල මෙන්ම, බෙල්ලේ අස්ථි බිඳීමක්ද සිදුව තිබුණි.
මෙම සිදුවීම මූලික කරගත් උද්ඝෝෂණ හේතුවෙන් ජනතාව පොලීසිය සමග ඇති කරගත් ගැටුම් නිසා පුද්ගල ජීවිත දෙකක්ද වෙඩි වැදීමෙන් අහිමි වී තිබුණි.