පාකිස්තානයේ, ඉන්ධන රැගත් බවුසරයක් අනතුරට පත්ව, ගිනිගැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 200 ඉක්මවන බව බලධාරීහු පවසති.
නැගෙනහිර අහ්මෙද්පූර් හිදී පසුගිය ජුනි 25දා මෙම ඉන්ධන බවුසරය අනතුරට පත්වූ අතර, ඒ සමගම බවුසරයෙන් වහනය වූ ඉන්ධන එකතු කිරීමට ප්‍රදේශයේ ජනතාව පොරකමින් කටයුතු කර තිබේ. එම අවස්ථාවේදී ක්ෂණික පිපිරුමක් සමග බවුසරය ගිනිගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මෙම අනතුරින් මියගිය පිරිස ඉහළ යෑමට ජනතාවගේ එම අමනෝඥ ක්‍රියාව හේතු වී ඇති බවත්, තවත් විශාල පිරිසක් මේ වනවිටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.
මෙම අනතුරින් පැය කිහිපයකට පසුව මියගිය පිරිස 150ක් පමණ වන බව කියවුණත්, එම ප්‍රදේශයෙන් ලැබෙන තොරතුරුවලට අනුව මේ වනවිට මියගිය පිරිස 206 කි. රෝහල්ගත වූවන් වැඩි පිරිසක් පසුව ජීවිතක්ෂයට පත්ව තිබීමද මේ තත්ත්වයට හේතු වී තිබේ.
ගින්න ඇතිවීමට හේතුව පෙරළී ගිය ඉන්ධන බවුසරය ආසන්නයෙන් ගමන් කළ අයෙකු දුම්වැටියක් දැල්වීමට උත්සාහ කිරීම බවත්, මියගිය බොහෝදෙනාගේ ශරීර සම්පූර්ණයෙන්ම පාහේ පිළිස්සී පැවතීම නිසා ඒවා ඩී.එන්.ඒ වලින් පමණක් හඳුනාගැනීමට හැකිවනු ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.