පාකිස්තාන කෘෂි විද්‍යාලයකට තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක්


පාකිස්තානයේ, පේෂාවර් හි කෘෂි විද්‍යායතනයකට ඇතුළු වූ තලේබාන් ත්‍රස්තයන් තිදෙනෙකු සිදුකළ ප්‍රහාරයකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.

බුර්කාවන්ගෙන් සැරසී මෙම ප්‍රහාරකයන් පේෂාවර් කෘෂි පුහුණු විද්‍යායතනයට ඇතුළු වී ඇති අතර, පසුව පාකිස්තාන හමුදා සිදුකළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මෙම ප්‍රහාරකයන් සියලු දෙනාද ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම ප්‍රහාරයේ වගකීම පාකිස්තාන තලේබාන් සංවිධානය භාරගෙන ඇති අතර, ප්‍රහාරය සිදුවූ අද (01දා) දිනය ඉස්ලාමීය නිවාඩු දිනයක් වූ බැවින් එම ආයතනයේ වැඩි පිරිසක් සිට නොමැති බවද කියැවෙයි.

මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී විද්‍යායතනය තුළින් එක් පිපිරීම් හඬක් ඇසී ඇති අතර, ප්‍රහාරය මැඩපැවැත්වීම සඳහා හමුදා කොමාන්ඩෝ භටයන් සහ පොලීසිය යොදවා ඇත.

මියගිය පිරිස අතර සිසුන් 8 දෙනෙකු සහ විද්‍යායතනයේ කාර්යාල සේවකයෙකුද වෙයි.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසිවෙකු මාධ්‍යයට පවසා තිබුණේ 400ක් පමණ ඉගෙනුම ලබන විද්‍යායතනය තුළ ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී 120 දෙනෙකු පමණ සිට ඇති බවයි.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී තමන් නින්දේ සිටි බවත්, තලේබාන්ලා පහර දෙනවා යැයි කෑ ගසමින් සිසුන් දිවගිය බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

තවත් සිසුවෙකු පවසා තිබුණේ ත්‍රස්තයන් තමන්ගේ ඇස ගැටෙන සෑම දෙනාටම ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ බවයි.

ප්‍රහාරයෙන් පසුව විද්‍යායතනය තුළ තිබී මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක්, අත් බෝම්බ 3ක්, තවත් බෝම්බ 2ක් සහ පිස්තෝලයක් සොයාගත් බවයි.

පේෂාවර් නගරය ඇෆ්ගනිස්තාන දේශසීමාවට ආසන්නව පවතින බැවින් තලේබාන් සටන්කාමීන්ගේ ප්‍රහාර මේනම බලපෑම වැඩි නගරයක් ලෙස සැලකෙයි.

2014 වසරේදී එරට හමුදා පාලනයේ පැවති පාසලක් වෙත තලේබාන් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකදී පුද්ගලයන් 141 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

1_pakistan 2



Recommended Articles