ප්‍රථම වතාවට පෙම්වතාගේ දෙමවුපියන් බැහැදකින යුවතියන්ට චීන උපදෙස්


ප්‍රථම වතාවට තම පෙම්වතාගේ දෙමවුපියන් බැහැදැකීමට යන චීන යුවතියන් වෙනුවෙන් අන්තර්ජාල උපදෙස් මාලාවක් එරට සමාජජාල වෙබ් අඩවිවල ලැව්ගින්නක් සේ පැතිරෙන බව චීනයෙන් වාර්තා වෙයි.

විශේෂයෙන්ම, චීන දින දර්ශනයට අනුව, ඔවුන්ගේ නව අවුරුද්ද උදාවන කාලයේදී මේ ආකාරයෙන් යුවතියන් තම පෙම්වතාගේ දෙමවුපියන් හෝ වැඩිහිටියන් බැහැදැකීමට යෑම සිදුවන නිසා, මේ කාලයේදි මේ උපදෙස් මාලාව වඩාත් යෝග්‍ය බවත් එහි පෙන්වා දී තිබේ.

“ගොඩක් වටින තෑග ගෙනියන්න එපා...” ඒ මෙම උපදෙස් මාලාවේ පළමු වැනි උපදේශයයි. “එනම්, ඔබ ඒ පවුලෙන් කසාදයක් ඉල්ලා සිඟමන් යදින්නෙකු නොවිය යුතුයි.”

“කොහොම වුණත් ඔබ පෙම්වතාගේ දෙමවුපියන්ට ගරු බුහුමන් දැක්විය යුතුයි.” ආදී වශයෙන් තවත් උපදෙස් වෙයි. “ඒ වගේම ඔබ ගෙදර හැසිරෙන ආකාරයෙන් පෙම්වතාගේ ගෙදර නොහැසිරිය යුතුයි. පාවහන් තැන තැන ගලවා දමමින්, කතා කරන අතරතුර පාවහන් සෝෆාව යටට තල්ලු කරමින්, ආදී වශයෙන් ඔවුන්ට ඔබව සිනහවට ලක් නොවන චරිතයක් විය යුතුයි. එනම්, පළමු හමුවේදීම ඔබ බොහෝ දර්ශනීය චරිතයක් බව ඔවුන්ට ඒත්තු යා යුතුයි.”

ලබන බ්‍රහස්පතින්දායින් ඇරඹෙන චීන නව අවුරුදු නිවාඩු කාලයට එරට ජනතාව ගම්බිම් වෙත ගොස් ඥාති හිතමිත්‍රාදීන් සමග එකතුවීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. ඒ නිසා, සැබෑ ආදර බැඳීම්වලින් යුතු තරුණ තරුණියන්ද තම සහකාරිය හෝ සහකරුවා තම දෙමවුපියන්ට මුණ ගැස්වීම මේ උත්සව කාලයේදීම බොහෝවිට සිදුවන්නකි. නමුත්, ඒ අවස්ථාව මේ දෙපාර්ශ්වයේම ආතතිය වැඩිකරන අවස්ථාවක් බවද ඒ උපදෙස් මාලාවේ කියැවෙයි.

එමෙන්ම, තම සහකරුවාගේ දෙමව්පියන් බැහැදකින යුවතියන්ට මේ උපදෙස් මාලාව උදක්ම කියා සිටින්නේ කිසිවකට විරෝධයක් නොදක්වන හෝ ඕනෑවටත් වඩා ඉවසිලිවන්ත චරිතයක් බව ඔවුන්ට ඒත්තු යන ආකාරයෙන්ද නොහැසිරිය යුතු බවයි.

“ඒ ගෙදරට ගිය ගමන් අනාරාධරයෙන්ම ඒ ගෙදර වැඩ කරන්න පටන් ගන්න එපා.” උපදෙස් මාලාවේ විස්තර කෙරෙයි. “ඔබට උදව් කරන්න අවශ්‍යයි කියා ඔවුන්ට කියන්න. එවිට ඔබේ උදව් අවශ්‍ය බව ඔවුන් අනිවාර්යයෙන්ම කියාවි. එවිට ඔබට උදව් කරන්න පුළුවන්.”

“ඔබ පමණට වඩා හෘදයාංගම හෝ මිත්‍රශීලී අයෙකු ලෙස හැසිරෙන්න ගියොත් ඇතැම් විට ඔබට එතරම් ගරුසරුවක් නැතිව ඔවුන් සලකන්න පුළුවන්. මන්දයත්, ඔවුන්ගේ පුතා දැනටමත් සම්පූර්ණයෙන්ම පාහේ ඔබව නතුකරගෙන අවසාන බව ඔවුන්ට සිතෙන්න පුළුවන්.”

“ඒ වගේම, පෙම්වතාගේ දෙමවුපියන් ඔබව සියුම් ලෙස පරීක්ෂාවට බඳුන් කරනවා යැයි කියා සිතන්න එපා. ඒ වෙනුවට ඔබ ඉතා සියුම් ලෙස ඔවුන්ව පරීක්ෂාවට ලක් කරන්න. විශේෂයෙන් පියා සුරාවට, සූදුවට බර කෙනෙක්ද, ඔවුන්ගේ සමාජ වටපිටාව මොනවගේද, ඔවුන් ආශ්‍රය කරන්නෙ මොනවගේ අයද ආදිය ගැන සුපරික්ෂාකාරී වෙන්න. ඇත්තටම ඔබේ ඉලක්කය විය යුත්තේ, ඔබේ පෙම්වතාගේ පවුල එකමුතුව කටයුතු කරන අවිරෝධී පවුලක්ද යන්න සොයාගැනීමයි. ඒ වගේම ඔබට සම්බන්ධවීමට තරම් ඒ පවුල සුදුසුද යන්නත් ඔබ මේ පළමු හමුවේදී යම්තරමකට හෝ අවබෝධ කරගත යුතුයි.”

ට්විටර් මාදිලියේ, චීන සමාජ ජාලය වන වෙයිබූ හි මුලින්ම මේ උපදෙස් මාලාව මුදාහැර තිබුනේ එරට විද්‍යුත් මාධ්‍ය ආයතනයක සේවය කරන්නෙකු බවටද මේ වනවිට හඳුනාගෙන තිබේ.

 



Recommended Articles