රෝගී තත්ත්වයක් සමනය වන්නේ නම් නියම කළ ප්‍රතිජීවක ඖෂධ වට්ටෝරුව අවසන් වනතුරු නොසිට, එම ඖෂධ භාවිතය නතර කිරීම හෝ අඩුකිරීම සිදුකළ හැකි බවට නව වෛද්‍ය මතයක් ඉදිරිපත් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ බී.එම්.ජේ. වෛද්‍ය සඟරාව පෙන්වා දෙන්නේ ප්‍රතිජීවත ඖෂධයක් රෝගියෙකුට නියම කළ විට, අදාළ වට්ටෝරුව නිමාවීමට පෙර එම ඖෂධ භාවිතය නතර කිරීම හේතුවෙන් අදාළ බැක්ටීරියාව හෝ වෛරසය එම ඖෂධයට ඔරොත්තු දෙන තත්ත්වයට පත්වන්නේ යැයි සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
එසේ වුවත්, මෙය එක් අධ්‍යයන ප්‍රතිඵලයක් නිසා, රෝගියෙකුට වෛද්‍යවරුන් නියම කර ඇති ඖෂධ ලබාගන්නා ආකාරය වෙනස් නොකරන ලෙසද එම සඟරාව ජනතාවගෙන් ඉල්ලා ඇති බව බී.බී.සී.ය පෙන්වා දෙයි.
එහිදී, බ්‍රිතාන්‍යයේ රාජකීය වෛද්‍ය විද්‍යාලයේ මහාචාරිනී හෙලන් ස්ටෝක්ස් ලැම්පාර්ඩ් කියා සිටියේ රෝග ලක්ෂණ පහව ගිය පමණින් ශරීර අභ්‍යන්තරයේ පවතින ආසාදනය සම්පූර්ණයෙන්ම තුරන් වී ඇතැයි නිගමනය කළ නොහැකි බවයි.
නමුත්, ප්‍රතිජීවක ඖෂධවලට දක්වන ප්‍රතිරෝධය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින නිසා එය පාලනය කර ගැනීමට නම් එකී ඖෂධ භාවිතය අවම කළයුතු බවත්, බ්‍රිතාන්‍ය පුරා විවිධ සමීක්ෂණ දියත් කළ විශේෂඥ කණ්ඩායමේ තර්කය වී තිබේ.
බ්‍රිතාන්‍යයේ බ්‍රයිටන් සහ සසෙක්ස් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය මාටින් ලෙවෙලින් සහ එහි ආචාර්ය මණ්ඩලය පවසන්නේ පමණට වඩා වැඩි කාලයක් ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම මගින් ඊට දක්වන ප්‍රතිරෝධය ඉහළයාමේ අවදානමද වැඩිවිය හැකි වන බවයි.
එමෙන්ම දින 3 සිට 5 දක්වා කෙටි කාලීනව ප්‍රතිජීවක ඖෂධ භාවිතාකිරීම මගින් නිසි ප්‍රතිඵල ලබාගත හැකි බවට සනාථ වන සාක්ෂි මේ වනවිට ලැබෙමින් පවතින බවද ඔවුහු පවසා තිබේ. එය එසේ වුවද, මෙම පර්යේෂණ තවදුරටක් සිදුකළ යුතු බවද පර්යේෂකයෝ අවධාරණය කරති.