ප්‍රංශ ජනාධිපති අපේක්ෂක මැක්‍රෝන් හැකර් ප්‍රහාරයක


ප්‍රංශ ජනාධිපතිවරණය හෙට (07දා) ආරම්භ වීමට නියමිතව තිබියදී එහි බලාපොරොත්තු සහගත අපේක්ෂකයා වන එමානුවෙල් මැක්‍රෝන් චෝදනා කරන්නේ තමන් අන්තර්ජාල හැකින් ප්‍රහාරයකට ලක්වෙමින් සිටිනා බවයි.

ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයෙන් පසු හෙට ආරම්භ වන දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබූවන් දෙදෙනෙකි.

මධ්‍යස්ථ මතධාරී එමානුවෙල් මැක්‍රෝන් සහ අන්ත දක්ෂිණාංශික නායිකා මරීන් ල-පෙන් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා තරග බිමේ සිටිති.

මැක්‍රෝන්ගේ ඡන්ද ව්‍යාපාරය පවසන්නේ රහසිගත ලිපිගොනු රැසක් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරමින්, ඒ ලිපිගොනු සමග ව්‍යාජ ලිපිගොනුද කලවම් කර සිය අපේක්ෂකයාගේ ජනප්‍රියත්වයට හානියක් සිදුකිරීමට හැකර්වරුන් කටයුතු කර ඇති බවයි.

ලිපිගොනු හුවමාරු කරගන්නා වෙබ් අඩවියකින් මෙම ලිපිගොනු හොර රහසේ ලබාගෙන ඇති අතර, ඡන්ද ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට විනාඩි කිහිපයක් තිබියදී මෙම හැකර් ප්‍රහාරය සිදුව ඇති බවද මැක්‍රෝන් ඡන්ද ව්‍යාපාරය පවසයි.

කෙසේ වෙතත්, ඡන්ද විමසීම අවසන් වනතුරු මෙම අපේක්ෂකයන් දෙදෙනාටම බලපැවැත්වෙන මැතිවරණ නීති සමුදායක් පවතින නිසා මැක්‍රෝන්ට මාධ්‍ය ඔස්සේ කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කිරීමේ අවසරයක් නොමැත.

කෙසේ වෙතත්, පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලට අනුව මැක්‍රෝන්, ප්‍රතිවාදී අපේක්ෂිකා ල-පෙන්ට වඩා 20%ක් පමණ ඉදිරියෙන් සිටින බව පැවසෙයි.

දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැළකෙන එම්මානුවෙල් මැක්‍රෝන් තරග වදින්නේ යුරෝපා සංගමයේ න්‍යාය පත්‍රයට හිතවාදී ලිබරල් මතවාදයට නැඹුරු 'එන් මාර්ෂ්' නමැති තමන්ගේම පක්ෂයකිනි.

ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරන මරීන් ල-පෙන්ගේ ජාතික පෙරමුණේ මතය වී ඇත්තේ යුරෝපය සමග ප්‍රංශය සතු සබඳතා වෙනසකට ලක්කළ යුතු බවය.

සංක්‍රමණිකයන් සහ නිදහස් වෙළෙඳාම සම්බන්ධයෙන්ද ඇය සිටින්නේ දැඩි ස්ථාවරයකය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරණයට පෙර පැවති අවසාන රූපවාහිනී සංවාදය සාර්ථකව නිම කළ බව අපේක්ෂකයන් දෙදෙනාම පවසති.

එම්මානුවෙල් මැක්‍රෝන් සහ මරීන් ල-පෙන් ත්‍රස්තවාදය, ආර්ථිකය සහ යුරෝපා සබඳතා මුල් කර ගනිමින් පුරා පැය දෙකක් එකිනෙකාට අවමන් වන ආකාරයෙන් අදහස් පළ කර ගත්හ.



Recommended Articles