ප්‍රංශ ජනපති ලෙස මැක්‍රෝන් දිවුරුම දැඩි ආරක්ෂාවක් මැද


ප්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස එමානුවෙල් මැක්‍රෝන් දිවුරුම්දීමට නියමිත අතර, ඒ වෙනුවේන පැරීසියේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය සති අන්තයේ පැවති ප්‍රංශ ජනාධිපතිවරණ දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත් මැක්‍රෝන් එරට ළාබාලතම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වීමටද නියමිතව සිටී.

අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මැරීන් ලී පෙන් සමග අවසන් වටයේදී තරග කළ මැක්‍රෝන් හිටපු බැංකුකරුවෙකුද වෙයි.

මීට පෙර කිසිදු මැතිවරණයකට ඉදිරිපත්ව නොතිබූ මැක්‍රෝන් මීට වසරකට පමණ පෙර සිය මධ්‍යස්ථ මතධාරී දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරමින් ප්‍රංශයේ මුල් පුටුවට හිමිකම් කීමට සමත් විය.

ප්‍රංශයේ ජනාධිපති ධුරය හොබවන සිටි ප්‍රංශුවා හොලන්දේ වෙනුවට මැක්‍රෝන්ගේ දිවුරුම්දීම සිදුවනු ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල නිවස ලෙස සැලකෙන එල්සී මාලිගයේදී පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවය සඳහා අමතර ආරක්ෂක බලඇණි පැරිස් අගනුවරට ගෙන්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

2015 සහ ඉන් පසුව ඇති වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර සමග ප්‍රංශය මේ වනවිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, අගනුවර ඇතැම් ප්‍රදේශවල වාහන ගමනාගමනයද සීමා කර තිබුණි.

මෙම නීත්‍යානුකූල බල හුවමාරුවෙන් පසුව මුරවෙඩි 21කින් නව ජනාධිපතිවරයාට ගෞරව දැක්වීම එරට ආරක්ෂක අංශ විසින් සිදුකරනු ඇත.

අනතුරුව ආක් ඩි ට්‍රිඔම්ෆේ වෙත යන නව ජනාධිපති මැක්‍රෝන් එහිදී නොදන්නා සොල්දාදුවන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාරයක් දැක්වීමට නියමිතය.



Recommended Articles