ප්‍රංශුවා සහකාරිය අත්හැරීමට සූදානම්ලු


ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලන්ඩේ සිය සහකාරිය වූ වැලෙරි ට්‍රයර්වෙයිලර්ගෙන් වෙන්වන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට සූදානමින් පසුවන බව ප්‍රංශ මාධ්‍ය පවසයි.

හොලන්ඩේ ජනාධිපතිවරයා, ප්‍රංශ නිළි ජූලි ගයෙට්ගේ සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බව ක්ලෝසර් සඟරාව හෙළි කිරීමත් සමග ප්‍රංශ පළමු පුරවැසි පවුලේ ආරවුල දුරදිග ගියේය.

කෙසේ වෙතත්, අදාළ වාර්තාව පළ කිරීම තම පෞද්ගලිකත්වයට හානියක් බව හොලන්ඩේ පැවසුවත්, කිසිම අවස්ථාවක ජූලි සමග සම්බන්ධතාවක් නොපවත්වන බව කියා නොසිටියේය.

මෙම මාධ්‍ය වාර්තාවෙන් පසු වැලෙරි සතියක කාලයක් රෝහල්ගතවද සිටියාය.

රෝහල්ගතව සිටීමෙන් පසු ඇය වර්සයිල්ස් හි ජනපති නිල නිවෙස වෙත කෙලින්ම පැමිණියත්, නුදුරු දිනකදීම ඇය තම පෞද්ගලික මහල් නිවාසය වෙත යනු ඇති බව ප්‍රංශ මාධ්‍ය පවසයි.

ජනාධිපතිවරයාගෙන් වෙන් වුවත් ජනමාධ්‍යවේදිනියක වූ වැලෙරි තවදුරටත් පැරිස් මැච් සඟරාවේ සේවය කරනු ඇති අතර, ඇය ඉරිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට සූදානම් වන්නේ කුසගින්න පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රංශ පුණ්‍ය ආයතනයකට සහයෝගය දැක්වීම සඳහාය.



Recommended Articles