නිව්යෝක් කාර් අනතුරේ සැකකරුට හඬක් ඇහිලා


නිව්යෝක් නගරයේ, ටයිම්ස් චතුරස්‍රයේදී පදික වේදිකාවක් මතින් සිය මෝටර් රථය ධාවනය කරමින් ජීවිතයක් බිලිගනිමින් තවත් 22 දෙනෙකු තුවාල සිදුකළ තරුණයා පවසා ඇත්තේ ඒ මොහොතේ තමාට විවිධ කටහඬ ඇසුණු බවයි.

ඔහු පොලීසිය වෙත පාපොච්චාරණය කරමින් පවසා ඇත්තේ "ඔබලා මට වෙඩි තැබීමට උත්සාහ කළා. මට ඔවුන් මරා දැමීමට ඕනෑ වුණා" යනුවෙනි.

26 හැවිරිදි රිචාඩ් රෝජාස් නමැති මෙම තරුණයා හිටපු නාවික හමුදා සෙබලෙකු වන අතර, ඔහු මීට පෙර අවස්ථා දෙකකදී බීමතින් රිය පදවා අත්අඩංගුවට පත්වූ අයෙකු ලෙසද පොලීසිය පවසයි.

එමෙන්ම, මෙහිදී තම ජීවිතය තොරකර ගැනීමට තමාට අවශ්‍ය වූ බවද ඔහු පොලීසිය හමුවේ පවසා ඇත.

ලන්ඩනයේ සිදුවූ ආකාරයෙන් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව තහවුරු කරගත් ඇමෙරිකානු පොලීසිය, මොහු ප්‍රබල මත්ද්‍රව්‍යයක් අධි මාත්‍රාවක් ලබාගෙන සිටි බව පවසයි.

එහිදී, මත්පැන් සම්බන්ධ පරීක්ෂනයෙන් ඔහු සෘණ තත්ත්වයක් පෙන්වා තිබුණත්, මත්ද්‍රව්‍ය පරීක්ෂනයේදී ධන තත්ත්වයක් පෙන්වූ බව පොලීසිය කියයි.

කෙසේ වෙතත්, මෙම තරුණයාට මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, මනුෂ්‍ය ඝාතන තැත් කිරීම් 20ක් සිදුකිරීම, මනුෂ්‍ය ඝාතනයන් සම්බන්ධ ප්‍රකෝපකාරී ධාවනය යන චෝදනා යටතේ දඬුවම් පැමිණවෙනු ඇති බවද විදෙස් වාර්තා පවසයි.



Recommended Articles