නැති රැවුලක් වවා ගන්න රුපියල් මිලියනයක් වැයකරන තරුණයෝ


ඉඟටියෙන් පහළට රූටා හැලෙන කලිසම්වලින් සැරසෙන තරුණයන් අපටද දුලබ දසුනක් නොවේ. එසේ බටහිරින් මෙරටට දායාද වූ 'ඔන්න මෙන්න වැටෙන' කලිසම් සංස්කෘතියේ තරුණ කැළ අද ඇමෙරිකාව තුළ තවත් ඉදිරි පියවරක් තබා ඇති බව වාර්තා වෙයි.

ඉන් කියැවෙන්නේ, තම මුහුණේ හරිහැටි නොවැවෙන රැවුල ප්ලාස්ටික් ශල්‍යකර්මයක් මගින් වවාගනිමින් නැති පිරිමිකමක් ගැනීමට වැල නොකැඩී වෛද්‍යවරු සොයා යන මෙම කලිසම් සංස්කෘතියේම තරුණයන් ගැනය. එහි සුවිශේෂීත්වය වන්නේ මෙවැනි ශල්‍යකර්මයක් වෙනුවෙන් ඇතැම් විට ඇ.ඩො.8,000ක් (රු.මිලියනයක් පමණ) වැය වීමය.

මෑන්හැට්න් හා ෆ්ලොරීඩා හි පෞද්ගලික සේවයේ යෙදෙන ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු පෙන්වා දෙන්නේ පසුගිය වසර පහක කාලය තුළ මේ ආකාරයෙන් රැවුල සිටුවා ගැනීමට පැමිණෙන පිරිස අතිශයින් වැඩිවූ බවය.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තරාතිරම කවරක් වුවත්, විවිධ අය මේ ආකාරයෙන් පැමිණෙන බවය. වයස 20 හා 30 අතර පිරිස තම පිරිමිකමේ සංකේතයක් ලෙස රැවුල හුවාදැක්වීමට මේ ආකාරයෙන් පැමිණෙන බවද වෛද්‍යවරු පවසති. මේ බොහෝ තරුණයන් තමන් අන් අයගේ ආකර්ෂණයට ලක්වන, නිර්මාණශීලී හා ප්‍රගතිශීලී දේශපාලන මත දරන්නන් යැයි සිතන බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ අලුත් රැවුල් රැල්ලත් සමග නිව්යෝක් නගරයේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු සතියකට මෙවැනි ශල්‍යකර්ම තුන හතරක් සිදුකරන බව කියැවෙයි. රැවුල නැවත සිටුවීම සඳහා ඔවුන් ඇ.ඩොලර් 2000 සිට 8000 දක්වා ගාස්තුවක් අයකරන බවත් කියැවෙයි. කෙසේ වෙතත් මෙම ගාස්තුව තීරණය වන්නේ සිටුවන රැවුලේ ප්‍රමාණය මතය.

මීට දශකයකට පමණ පෙර ඇමෙරිකාවේ සුපිරි බොලිවුඩ් තරු පවා රතු පලස් මතට පැමිණියේ හොඳින් රැවුලබෑ මුහුණක් සමගය. නමුත්, අද රතු කාපට් මතට පැමිණෙන ප්‍රකට චරිත රැවුල්වලට උරුමකම් කීමද මේ විලාසිතා වෙනසට හේතුවක් බව කියැවෙයි.

බ්‍රැඩ් පිට්, ජෝර්ජ් ක්ලූනි, රයන් ගොස්ලින්, ජේක් ගයිලෙන්හාල් සහ බෙන් ඇෆ්ලෙක් ඒ අතර කිහිප දෙනෙකි.

මෙසේ රැවුල සිටුවීමට උනන්දුවන බොහෝ තරුණයන් කියන්නේ මෙවැනි රැවුලක් හරහා තමන් වෙත රළු පෙනුමක් නිතැතින්ම උරුම වන බවය.



Recommended Articles