නැගෙනහිර යුක්රේනයේ පැවති මැතිවරණය විකාරයක්ලු


නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශය තුළ පැවති මැතිවරණය සම්බන්ධයෙන් යුක්රේන ජනපති තම ආරක්ෂක ප්‍රධානීන් සමග හදිසි සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඔවුන් පවසන්නේ මෙම මැතිවරණය විකාරයක් බවයි.

රූපවාහිනිය හරහා ජනතාව අමතමින් යුක්රේන ජනපති පෙට්රෝ පොරොෂෙන්කෝ පවසා සිටියේ නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් හා ලුහාන්ස්ක් පළාත් කිහිපයක පසුගිය ඉරිදා පැවැත්වූ මැතිවරණය හේතුවෙන් එරට පවතින සාම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බවයි.

මෙම මැතිවරණයෙන් රුසියානු හිතවාදී කැරලිනායකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කර ඇති අතර, ඔවුන් අද (04දා) දිවුරුම් දීමට නියමිත බවද කියැවෙයි.

බටහිර චෝදනා නගන්නේ මෙම මැතිවරණය නීති විරෝධී මැතිවරණයක් බවයි. එමෙන්ම, ඒ සඳහා රුසියාව සහාය දක්වා ඇති බවටද බටහිරින් චෝදනා නැගෙයි.

නැගෙනහිර යුක්රේනය තුළ පසුගිය අප්‍රේල් මාසයේ සිට පවතින ගැටුම් හේතුවෙන් 4,000කට අධික පිරිසක් මේ දක්වා ජීවිතක්ෂයට පත්ව තිබේ.

 



Recommended Articles