නවාස් ෂරීෆ්ගේ දියණිය දේශපාලනයට පිවිසෙයි?


බලයෙන් පහ කෙරුණු අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය මාරියම් නවාස් පාකිස්තාන දේශපාලනයට පිවිසෙන බවට පුවතක් මේ දිනවල වඩාත් කතාබහට ලක්වෙයි.

සිය පියාට බලය අහිමි වීමත් සමඟ ඔහු නියෝජනය කළ ලහෝර් නගරයේ NA-120 ඡන්ද කොට්ඨාසයේ මන්ත්‍රී පදවියක පුරප්පාඩුවක් ඇති වූ අතර මාරියම් දේශපාලන වේදිකාවේ සුපිරි තාරකාවක් වී ඇත්තේ එම ආසනය සඳහා අතුරු මැතිවරණයක් කැඳවීමත් සමගිනි

ඇය වේදිකාව කරා ළඟාවන විට උන්මාදයට පත් කාන්තාවන් සමූහයක් 'සිංහයා ඇවිල්ලා' යනුවෙන් කෑ මොර දී ඇති බව විදෙස් වර්තා පවසයි.

පාකිස්තාන් මුස්ලිම් ලීග් - නවාෂ් පාර්ශ්වයේ (PML-N) ආධාරකරුවෝ 'සිංහයා' යනුවෙන් හඳුන්වනු ලැබුවේ සිය නායක නවාස් ෂරීෆ් හිටපු අගමැතිවරයායි. දැන් ඔහුගේ දියණිය යළිත් 'සිංහයා' බවට පත්ව ඇත.

එරට දේශපාලන ඉතිහාසයේ කිසිදු දේශපාලන පදවියක් නොවූ මාරියාම්, මේ වනවිට එරට බලවත් දේශපාලන තාරකාවක් බවට පත් වෙමින් සිටින්නීය.

NA-120 ඡන්ද කොට්ඨාසයේ අපේක්ෂිකාව හැටියට පාකිස්තාන් මුස්ලිම් ලීග් - නවාස් පාර්ශ්වය (PML-N) විසින් හිටපු අගමැති බිරිඳ කුල්සූම් නවාස් ඉදිරිපත් කරනු ලැබුවත්, පිළිකා රෝගයට ගොදුරුව එක්සත් රාජධානියේ සුවය ලබමින් සිටින කුල්සූන්ගේ ප්‍රචාරක ව්‍යාපාරයේ නියමුවරිය වී සිටින්නේ මාරියම්ය.

සිය මව වෙනුවෙන් ප්‍රචාරක රැලි ඇමතීමට එන මාරියම් පක්ෂයේ දහස් සංඛ්‍යාත ආධාරකරුවන් විසින් පිළිගනු ලබන්නේ රෝස මල් පෙති විසුරුවා හරිමින් මල්මාලා පළඳවමිනි.

නවාස් ෂරීෆ් රටේ අගමැති පදවිය දැරීමට සුදුසු නැතැයි අධිකරණ තීන්දු කළත් මාරියම් නවාස් ගේ ඉලක්කය වී තිබෙන්නේ සිය පියා සම්බන්ධයෙන් මහජන තීන්දුව කුමක්ද යන්න මෙම අතුරු මැතිවරණය මගින් ප්‍රදර්ශනය කිරීමය.

ඒ අනුව මෙය නවාස් ෂරීෆ් සම්බන්ධයෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. එමෙන්ම, මෙම අතුරු මැතිවරණ ප්‍රතිඵලය 2018 පැවැත්වීමට නියමිත මහ මැතිවරණ ප්‍රතිඵලය කුමක්ද යන්න සම්බන්ධයෙන් පුරෝකථනයක් ලබාදෙනු ඇති බවද ඔවුහු වැඩිදුරටත් පවසති.



Recommended Articles