නවසීලන්ත ධජයේ වෙනසක් අවශ්‍ය නැති බවක් දැන් කියයි


නවසීලන්ත ධජය වෙනස් කිරීමේ දැඩි අවශ්‍යතාවක් නොමැති බව එරට විදේශ අමාත්‍යවරිය පවසයි.

මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන ජූලි බිෂොප් අමාත්‍යවරියගේ විශ්වාසය අනුව වත්මන් ධජයේ වරදක් නොවෙයි.

කෙසේ වෙතත්, නවසීලන්තය සිය ජාතික ධජය වෙනස් කරනවාද, නැද්ද යන්න පිළිබඳ ජනමත විචාරණයක් පවත්වන බව එරට අගමැති ජෝන් කී ඊයේ නිවේදනය කළේය.

ඒ අනුව, දැනට පවතින ධජය වෙනස් කරනවාද, නැද්ද යන්න විමසා ජනමත විචාරණයක් පැවැත්වීමටද කාල වකවානු ලබාදුන්නේය.

නවසීලන්තයේ දැනට පවතින ජාතික ධජයේ දකුණු කුරුස තාරකා රාශිය මෙන්ම, බ්‍රිතාන්‍ය ධජයද පැත්තකින් දක්නට ලැබෙයි. ඔස්ට්‍රේලියානු ධජයේද මේ ආකාරයෙන්ම බ්‍රිතාන්‍ය ධජය පවතී.

දැනට පවතින ජාතික ධජයෙන් එරට යටත්විජිත යුගය මෙන්ම, ඉන් පසුව ගෙවීගිය යුගය නිරූපණය වන බව අගමැතිවරයා පවසා තිබුණි.

වත්මන් ධජයේ පැත්තකින් බ්‍රිතාන්‍ය ධජයේ කොටසක්ද තිබීම තුළ බ්‍රිතාන්‍ය විසින් නවසීලන්තය අභිභවා සිටීමක් නිරූපණය වන බව පවසමින් හෙතෙම අවධාරණය කළේ, තවදුරටත් බ්‍රිතාන්‍ය විසින් නවසීලන්තය අභිභවා නොසිටින බවකි.

ඒ අනුව, වර්තමානයේ නවසීලන්තය බුක්ති විඳින නිදහස තුළ නව ධජයක් රටට අවශ්‍ය බවද අගමැතිවරයා පවසා තිබුණි.

මේ අතර, නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් ධජය ජාතික ධජය සඳහා සුදුසු බවටද මීට පෙර යෝජනා වී තිබුණි. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් අලුත් යෝජනාවන් බලාපොරොත්තු වන බවද, ඊට පෙර ඒ සඳහා රටේ ජනමතය තීරණය විය යුතු බවද ජෝන් කී අගමැතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, නවසීලන්ත විදේශ අමාත්‍යවරිය මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වෙමින් සිටියදී මෙවැනි ප්‍රකාශයක් කර තිබුනේ, එරට සමග විරසකයක් ඇතිකර නොගැනීමේ බලාපාරොත්තුවෙන් විය හැකි බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 



Recommended Articles