ඊසානදිග නයිජීරියාවේ වෙළෙඳ පොළක් වෙත වයස අවුරුදු හත සහ අට වයසේ දරුවන් දෙදෙනෙකු මිනිස් බෝම්බකරුවන් දෙදෙනෙකු ලෙස එවා සිදුකළ ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.
නයිජීරියාවේ, බොර්නෝ ප්‍රාන්තයේ, මෙයිඩුගුරි නගරයේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, එම නගරයේ වූ වෙළෙඳ පොළ ජනයාගෙන් පිරී පැවති අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පැවසෙයි.
මෙම දැරියන් දෙදෙනා විනාඩි කිහිපයක් ඇතුළත සිය මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින්වත් භාරගෙන නොතිබුණත්, නයිජීරියාව තුළ මෙවැනි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් බොකෝ හරාම් ත්‍රස්තයන් ප්‍රසිද්ධියක් උසුලයි.
පසුගිය මාස කිහිපය තුළ නයිජීරියානු හමුදාව එම ත්‍රස්ත සංවිධානයට එරෙහිව දැඩි හමුදා මෙහෙයුම් සිදුකරමින් ඔවුන් පාලනයේ පැවති ප්‍රදේශ රැසක් නැවත හමුදා පාලනයට නතුකර ගනිමින් සිටි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
රික්ෂෝවක නැගී මෙම කුඩා දැරියන් දෙදෙනා වෙළෙඳ පොළ වෙත පැමිණ ඇති බවද පරීක්ෂණ පවත්වන පොලීසිය වැඩිදුරටත් පවසා සිටියි.