නයිජීරියානු පාසල් දරුවන් අන්තවාදීන්ට බිලිවූ හැටි


නයිජීරියාවේ බෝකෝ හරාම් අන්තවාදීන් විසින් යෝබ් ප්‍රාන්තයේ, බූනි යාඩි නගරයේ පාසලකට ප්‍රහාරයක් එල්ල කරමින්, සිසුන් 42 දෙනෙකු මරාදැමීම ඒ ආසන්නයේ වූ ආරක්ෂක මුරපොළ ඉවත් කිරීමත් සමග සිදුවූ බවට ගම්වාසීහු චෝදනා නඟති.

කෙසේ වෙතත් නයිජීරියානු බලධාරීන් පෙන්වා දෙන්නේ ප්‍රහාරය හේතුවෙන් මරණයට පත්ව ඇත්තේ සිසුන් 29 දෙනෙකු පමණක් බවයි. නමුත්, සිසුන් 42 දෙනෙකු මරා දමා ඇති බව වාර්තා වන බව ප්‍රංශ පුවත් සේවය පවසයි.

සඳුදා රාත්‍රී කාලයේදී එල්ල වූ මේ ප්‍රහාරය සඳහා බොකෝ හරාම් අන්තවාදීන් ගිනි අවි, මන්නා සහ පෙට්‍රල් බෝම්බ භාවිත කර තිබේ.

මේ සම්බන්ධයෙන් දහස් දක්වන යෝබ් ප්‍රාන්ත නායක ඊබ්‍රාහීම් ගායිඩාම් පෙන්වා දෙන්නේ මෙම ප්‍රදේශය බහුල වශයෙන් මුස්ලිම් ජනතාව පමණක් ජීවත්වන ප්‍රදේශයක් පමණක් බවයි. කෙසේ වෙතත්, ප්‍රහාරය මැඩපැවැත්වීම වෙනුවෙන් ආරක්ෂක අතිශය දුර්වල ප්‍රතිචාරයක් දැක්වූ බවටද හෙතෙම චෝදනා කරයි.

"මේ මහා මිනිස් සංහාරය සිදුවී පැය පහක් ගතවන තුරුත් ආරක්ෂක අංශ නොපැමිණීම අතිශය කනගාටුදායක තත්ත්වයෙක් වෙනවා" යැයි හෙතෙම පැවසීය.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී පාසල දෙසින් පිපිරුම් සහ වෙඩි තැබීමේ ශබ්ද ඇසුණු බව අසල්වැසියෝ පවසති. වෙඩි තැබීම් සහ පලාගිය සිසුන් වෙත මන්නාවලින් පහරදීමට අමතරව තවත් සිසුන් සහ ගුරුවරුන් පිරිසක් නේවාසිකාගාර කාමරවල සිරකර පණ පිටින්ම ගිනිතබා මරා ඇති බව කියැවෙයි.

එනමුදු, මේ ම්ලේච්ඡ ප්‍රහාරයත් සමගම පාසලෙන් පැනගොස් අසල වනලැහැබේ සැඟවුණු සිසුන් සහ ගුරුවරුන් පිරිසක් තම ජීවිත බේරා ගැනීමට සමත්ව තිබේ.

ප්‍රංශ පුවත් සේවය පෙන්වා දෙන්නේ, මෙකී පාසල බටහිර අධ්‍යාපනය ලබාදෙන පාසලක් බවට චෝදනා කරමින් හා එවැනි අධ්‍යාපන ක්‍රමයකට එරෙහි වෙමින් බෝකෝ හරාම් අන්තවාදීන් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

එමෙන්ම මෙය බෝකෝ හරාම් අන්තවාදීන් නයිජීරියාව තුළ එල්ල කළ ප්‍රථම ම්ලේච්ඡ ප්‍රහාරය නොවන බවද විදෙස් මාධ්‍ය පවසයි.



Recommended Articles