දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රේලියා එන අය පැපුවා නිව්ගිනියා යැවීම නීතියට එකඟලු


දේශපාලන රැකවරණයක් ඉල්ලමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයන්ව, ඔස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් පිහිටි පැපුවා නිව්ගිනියාවට හරවා යැවීම මගින් ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බවට එරට මහ අධිකරණ තීන්දුවක් ලබාදී තිබේ.

ඔස්ට්‍රේලියානු රජය විසින් 2012 වසරේදී හඳුන්වාදුන් දේශපාලන රැකවරණය පිළිබඳ වූ නව නීතිය අභියෝගයට ලක්කරමින් දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණ පසුව පැපුවා නිව්ගීනියාවට පිටත්කර යවන ලද ඉරාන ජාතිකයකු ගොනුකළ පෙත්සමක් සලකා බලමින් එරට මහ අධිකරණය මෙම තීන්දුව ලබාදී තිබේ.

මෙම ඉරාන ජාතිකයා ඉන්දුනීසියාවේ සිට ඔස්ට්‍රේලියාවට ඔහුව රැගෙන යාම සඳහා බෝට්ටු මාර්ගයෙන් මිනිසුන් වෙනත් රටවලට ගෙන යන ජාවාරම්කරුවෙකුට මුදල් ගෙවා ඇති බව කියැවෙයි.

මෙම නව නීතිය මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් වී ඇති නමුත් නව නීතිය හා සම්බන්ධ දේශපාලනික පරාසය තුළ ඔවුන්ගේ සහය දෙපාර්ශවයටම හිමි වී තිබේ.

මේ වන විට දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ඇති බව සඳහන්.

 



Recommended Articles