දේශගුණික විපර්යාස ලෝක පරිසරයත් ආර්ථිකයත් ගිල ගනී


දේශගුණික විපර්යාසයන් වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ඇමෙරිකානු රාජ්‍ය ලෙකම් ජෝන් කෙරී ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ආසියානු කලාපයේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවති මිහිතල සමුළුවl ප්‍රධාන දේශනය සිදුකරමින් මේ ඉල්ලීම සිදුකර තිබේ.

ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා වේගයෙන් දේශගුණික විපර්යාසයන් සිදුවෙමින් තිබෙන බවට ඕනෑ තරම් විද්‍යාත්මක සාක්ෂි ඇති බවත්, එය අප ජීවත්වන පරිසරයට මෙන්ම ලෝක ආර්ථිකයටත් දැඩි බලපෑමක් කරන බවත් රාජ්‍ය ලේකම්වරයා මෙහිදී අවධාරණය කර තිබේ.

මින් සිදුවිය හැකි බලවත් හානිය පිටුදැකීම සඳහා වූ කාලයේ කවුළුව තවමත් විවෘතව පවතින බවද හෙතෙම පවසා ඇත.

ලෝකයේ හරිතාගාර වායූන් වැඩිම ප්‍රමාණයක් වායුගෝලයට මුදාහරින ප්‍රධාන රාජ්‍යයන් දෙක වන්නේ ඇමෙරිකාව හා චීනයයි. ඒ අනුව, මේ රාජ්‍යයන් ද්විත්වයම කාබන් ඩයොක්සයිඩ් විමෝචනය හැකිතරම් අවම කිරීමට ක්‍රියාකිරීම වෙනුවෙන් පසුගියදා එක්ව ප්‍රතිඥාවක් ලබාදුන්නේය.

එහිදී මෝටර් රථවලින් සිදුවන වායු දූෂණය අවම කිරීම මෙන්ම, ඉදිකිරීම්වලදී බලශක්ති කාර්යක්ෂමතාව ඇතිකිරීම පිළිබඳ ඉදිරි පියවරක් තබා ඇත.

මේ ප්‍රධාන රටවල්වලට වැඩි කාර්යභාරයක් කිරීමට තිබුනද, සෙසු රටවලට නිකම්ම සිටිය නොහැකි බවද මෙහිදී කෙරී අවධාරණය කර තිබේ. ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ අවම වායු දූෂණයක් සහිත රටවල් අතීතයේ සිදුවූ වැරදි නොවීමට දැන් සිටම කටයුතු කළ යුතු බවය.

ආසියානු සංචාරයේදී මුලින්ම දකුණු කොරියාවට පැමිණි ජෝන් කෙරී පසුව චීනයටත්, අනතුරුව ඉන්දුනීසියාවටත් පැමිණියේය.

දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් 2015 වනවිට ඓතිහාසික සම්මුතියක් ඇති කරගැනීම ජෝන් කෙරීගේ උත්සාහය බව කියැවෙයි.



Recommended Articles