දෙවැනි දාලිත්වරයා ඉන්දීය ජනපති පුටුවේ වාඩි වෙයි


ඉන්දියාවේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් රාම් නාත් කෝවින්ද් දාලිත් ජන වර්ගය නියෝජනය කරමින් ඉන්දීය ඉතිහාසයේ පත්වූ දෙවැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්වෙයි.

එරට අගවිනිසුරුවරයා ඉදිරියේ ඊයේ (25දා) දිවුරුම් දුන් රාම් නාත් ජනාධිපති ධුරය සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්දයෙන් තුනෙන් දෙකකට වඩා ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම තුළම ඔහු කෙරෙහි පක්ෂ විපක්ෂ වැඩි දෙනෙකු බලාපොරොත්තුවක් තබා ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ රාම් නාත් කෝවින්ද්, මෙන්ම මෙවර ඔහු සමග තරගයට පැමිණි කොංග්‍රස් පක්ෂයේ මීරා කුමාර් යන දෙදෙනාම පීඩිත දාලිත් ජනවර්ගයෙන් පැවතෙන්නන් වීමද විශේෂත්වයකි.

ඉන්දීය ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම මහජන ඡන්දයෙන් නොව, එරට මධ්‍යම ආණ්ඩු පාර්ලිමේන්තුවේ මන්ත්‍රණ සභා දෙකෙහි මන්ත්‍රීවරුන්ගේ සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන්ද ඇතුළත් ඡන්ද පීඨයක් මගින් සිදුවන අතර, 4,896ක නියෝජිත පිරිසකගෙන් සමන්විත මෙම ඡන්ද පීඨයට ඉන්දීය ප්‍රාන්ත 29ක මහජන ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සහ සාංගමික ප්‍රදේශයන්හි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලවල නියෝජිතයෝද ඇතුළත් වෙති.

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය 17දා සිදුව තිබූ අතර, මෙහි ඡන්ද ගණන් කිරීම 20දා උදෑසන 11.00 ට ආරම්භ විය. එමෙන්ම, මෙවර සභිකයන් 99% ක්ම පාහේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබුනේ වාර්තාගත ඡන්දය ප්‍රකාශ කිරීමක් සමගිනි.

හිටපු බිහාර් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන රාම් නාත් පීඩිත දාලිත් කුලයෙන් පැවතෙන ගොවි පුත්‍රයෙකි. ඔහු ඉතා සරල දිවි පෙවෙතෙකට හුරුවූවෙකු ලෙසද සැලකෙයි. වර්ෂ 1945 ඔක්තෝබර් 01 වැනිදා කන්පූර් දෙහාත් හිදී උපත ලැබූ ඔහුට වාණිජවේදී උපාධිධරයෙකි. එමෙන්ම, කන්පූර් විශ්වවිද්‍යාලයෙන් ඔහු නීතියද හදාරා ඇත.

වසර 15කට අධික කාලයක් දිල්ලි මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු සවීතා කෝවින්ද් සමග විවාහ වී සිටියි. ඔවුනට දාව පුතෙකු හා දියණියක වෙයි.

භාරතීය ජනතා පක්ෂයේ දාලිත් මෝර්චා හි සභාපතීත්වය දැරූ ඔහු, එම පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කර ඇත. 1994 සිට 2000 සහ 2000 සිට 2006 දක්වා උත්තර් ප්‍රදේශ ප්‍රාන්තය නියෝජනය කරමින් රාජ්‍ය සභා සමාජිකයෙකු ලෙස දෙවරක් කටයුතු කර ඇති ඔහු ඉන්දීය පර්ලිමේන්තුවේ කමිටු කිහිපයකම සාමාජිකයෙකු ලෙසද අත්දැකීම් ලබූවෙකි.

මීට වසර තුනකට පෙර බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස නම්කරනු ලැබූ ඔහු එම ප්‍රාන්ත‍යේ 36 වැනි අණ්ඩුකාරවරයා බවට 2015 අගෝස්තු මාසයේදී පත්විය.

රාම් නාත්ට පෙර ඉන්දීය ජනාධිපති පදවියට උසුලනු ලැබූ දාලිත්වරයා කේ.ආර්. නාරායන් මහතාය.



Recommended Articles