කෘමි සතුන් ආහාරයට ගෙන ජීවත්වන පැන්ගොලින් නමැති අති දුර්ලභ සතුන් 650ක් මරා එම සතුන්ගේ සිරුරු අධිශීතකරණවල බහා තැබූ ඉන්දුනීසියානු වැසියෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
ඇතැම් ආසියාතික රටවල ආහාරය සඳහාත්, පාරම්පරික වෙදකම සඳහාත් මෙම අති දුර්ලභ සතුන් භාවිත කරන නිසා එම සතුන් මෙසේ මරාදමමින් අලෙවියට සූදානම් කෙරෙන බව කියැවෙයි.
ඉන්දුනිසියාවේ ප්‍රධාන ජාවා දූපතේ, ජොම්බැන්ග් දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීමකදී අදළ පුද්ගලයාගේ නිවසේ තිබියදී මෙම සතුන් සොයාගෙන ඇත.
ඔහුගේ නිවසේ අධිශීතකරණ රැසක් පැවතීම පිළිබඳ සැකසිතූ ප්‍රදේශවාසීන් ලබාදුන් ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකළ බව ඉන්දුනීසියානු පොලීසිය පවසයි.
55 වියැති නිවැස් හිමියා මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, ඔහු මෙම චෝදනාවට වැරදිකරු වුවහොත් එරට වනසත්ව ආරක්ෂණ නීතිය යටතේ ඔහුට වසර පහක සිරදඬුවමක් සහ ඇ.ඩො.7,500ක දඩයකට යටත්වීමට සිදුවනු ඇත.
ඉටි උරවල බහා තිබූ මෙම සතුන් අධිශීතකරණ පහක තැන්පත් කර තිබූ බවත්, මෙම සතුන් තමාගේ නොවන බවත්, තම මිතුරෙකු ඒවා අධිශීතකරණවල බහා තැබීමට තමාට ලබාදුන් බවත් අත්අඩංගුවට පත් නිවෙස් හිමියා පොලීසියට පවසා ඇත.
පැන්ගොලින් සතුන් අතිශය දුර්ලභ වඳවීමේ තර්ජනයට දැඩිව මුහුණදී සිටින සත්ව කොට්ඨාසයක් ලෙස සැලකෙයි.