තුර්කියේ ප්‍රධාන ගුවන්තොට IS ත්‍රස්තයෝ ලෙයින් නහවති


තුර්කියේ, ඉස්තාම්බුල් අගනුවර ප්‍රධාන ගුවන් තොටුපොළ වන අටාටුර්ක් ගුවන් තොටුපොළ වෙත 28 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය පිරිස 41 දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙසේ මියගිය පිරිස අතර විදේශිකයන් 13 දෙනෙකුද සිටින බවත්, මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස 230කට වැඩි බවත් ඉස්තාම්බුල් නගරාධිපතිවරයා පවසයි.

ගුවන් තොටුපොළේ ආරක්ෂක හැදැසක් ප්‍රයෝජනයට ගත් ප්‍රහාරකයන් ටැක්සි රථයක නැගී ඒ වෙත පැමිණ, ගුවන් තොටුපොළට ඇතුළු වීමේ පර්යන්තයේ සිට වෙඩි ප්‍රහාරයක් එල්ල කරමින් ඒ තුළට ඇතුළු වී තිබේ.

පසුව පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ සිය මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිමින් ඔවුන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කළ බව විදෙස් වාර්තා පවසයි.

තුර්කි අගමැති බිනාලි යිල්ඩිරිම් පවසා සිටියේ මෙම ප්‍රහාරය IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් සැලසුම් කර එල්ල කරන්නට ඇති බව විශ්වාස කෙරෙන බවයි.

කෙසේ වෙතත්, මෙම සටහන ලියැවෙන 29 වැනිදා රාත්‍රී වනතුරුම ප්‍රහාරයේ වගකීම භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත්ව නොසිටියේය.

මෙම ඛේදජනක අවස්ථාවේදී ජුනි 30 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටද තුර්කි බලධාරීන් කටයුතු කර තිබේ.



Recommended Articles