තායිලන්ත රජු ජර්මනියේදී වායු රයිෆල් ප්‍රහාරයකට ලක්වෙලා


තායිලන්තයේ මහා වජිරාලොන්ග්කෝන් රජුට ජර්මනියේදී වායු රයිෆල් ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, මින් තායි රජුට හානියක් සිදුව නොමැති බවත් විදෙස් වාර්තා පවසයි.

ජර්මනියේ මියුනිච් නගරයේදී තම ආරක්ෂකයන් සමග රාත්‍රී කාලයේ පාපැදි පදිමින් සිටි තායිලන්ත රජතුමා වෙත නව යොවුන් වියේ තරුණයන් දෙදෙනෙකු විසින් මෙම වායු රයිෆල් වෙඩි තැබීම සිදුකර තිබේ.

මෙම නව යොවුන් වියේ තරුණයන් දෙදෙනා වයස අවුරුදු 13 - 14 වයසේ පසුවන්නන් බවත්, ඔවුන් තම නිවසේ සිට ජනේලයකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

එහිදී, මෙම වෙඩි තැබීමෙන් රජතුමාට වෙඩි ප්‍රහාර එල්ල වීද යන්න පිළිබඳ පැහැදිලිතාවක් නොතිබුණත්, මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොතිබුණි.

පසුගිය වසරේ සිය පියාගේ අභාවයෙන් පසුව 64 වැනි වියේ පසුවන මහා වජිරාලොන්ග්කෝන් තායිලන්තයේ රාජ්‍යත්වයට පත්විය.

කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීම සිදුකළ තරුණයන් දෙදෙනා තමන් වෙඩි තබන්නේ රජෙකුටද බව දැන නොසිටින්නට ඇති බවද විදෙස් වාර්තා පවසයි.



Recommended Articles