තලේබාන් ග්‍රහණයේ සිටි සෙබලා මුදා ගත්තේ ධවල මන්දිරයේ කැමැත්තටලු


තලේබාන් ග්‍රහණයෙන් ඇමෙරිකානු සෙබලා මුදා ගැනීම ධවල මන්දිරය විසින් ඒකමතිකව ගත් තීරණයක් බව එරට ආරක්ෂක ලේකම් චක් හේගල් බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

බෝවෙ බර්ග්ඩාල් නමැති මෙම හමුදා සෙබලාගේ ජීවිතය අනතුරක පවතින්නේ යැයි විශ්වාස කළ නිසා මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට එකඟ වූ බවද ලේකම්වරයා අවධාරණය කළේය.

මේ තත්ත්වය තුළ බරැක් ඔබාමා පාලනයට මුලින් කොංග්‍රසයේ විමසීමක් කිරීමට පෙර ක්ෂණිකව මේ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සිදුවූ බවද හේගල් පවසා සිටියේය.

වසර පහක කාලයක් ඇෆ්ගනිස්තනයේ තලේබාන් අත්අඩංගුවේ පසුවූ බර්ග්ඩාල් නැවත ඇමෙරිකාව වෙත භාර දීම වෙනුවෙන් ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ සිටි තලේබාන් සැකකරුවන් පස් දෙනෙකු මුදා හැරීමට ඇමෙරිකාවට සිදුවිය.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ සිටින සිරකරුවන් මාරු කිරීමක් හෝ නිදහස් කිරීමක් සිදුකරන්නේ නම් ඊට දින 30කට පෙර කොංග්‍රසය දැනුම්වත් කිරීමට අවශ්‍ය වුවත්, එම බලා සිටීම වඩාත් අවදානම් සහගත බවද හෙතෙම පවසා ඇත.

"අපේ තීරණය වඩාත් වේගවත් වූයේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හා ඔහුගේ ජීවිතය පිළිබඳ පැවති අවදානම නිසයි" යනුවෙන් හේගල් වැඩිදුරටත් පවසා සිටියේය.

 

 



Recommended Articles