ඩොනල්ඩ් ට්‍රම්ප් දින 100යි - මාධ්‍ය වෙත දැඩි විවේචන


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දිවුරුම්දීමේ සිට ප්‍රථම දින 100 සම්පූර්ණ කරමින් ඊයේ (29දා) පැවති රැලියේදී ඇමෙරිකාවේ ප්‍රධාන දහරාවේ මාධ්‍ය වෙත දැඩි විවේචනයක් එල්ල කළේය.

පෙන්සිල්වේනියා හි පැවති මෙම හමුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ එක් පොරොන්දුවකින් පසුව තවත් පොරොන්දුවක් වශයෙන් තමා පොරොන්දු කඩ කරන්නෙකු ලෙස ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමට සීමාවෙන් ඔබ්බෙහි සිටින මාධ්‍යවේදීන් කටයුතු කරන බවයි.

ඇමෙරිකානු ජනාධිපතිවරුන් විසින් ධවල මන්දිර වාර්තාකරුවන් වෙනුවෙන් ලබාදෙන රාත්‍රී භෝජන සංග්‍රහයටද ට්‍රම්ප් මෙවර සහභාගී නොවු අතර, එය වර්ෂ 1981 සිට රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ සිට ලබාදෙන වාර්ෂික සංග්‍රහයකට ජනාධිපතිවරයෙකු සහභාගී නොවූ ප්‍රථම අවස්ථාව ලෙසද ඉතිහාස ගත විය.

තමාගේ ප්‍රථම දින 100 දැඩි උද්දීපනයක් මෙන්ම, ඉතා ඵලදායී දින 100ක් බව කියා සිටි ට්‍රම්ප්, තමා ඒ සෑම දිනයකම විදේශයන් විසින් ග්‍රහණය කරගෙන ඇති ඇමෙරිකානුවන්ගේ රැකියා යළි ඔවුන්ට ලබාදීමට, බලශක්ති ග‍වේෂණයේ නීතිරෙගුලාසි ලිහිල් කිරීමට මෙන්ම, ඇමෙරිකාවට වාසියක් නොමැති ට්‍රන්ස් පැසිෆික් සහයෝගීතාව ආදී වෙළෙඳ ගිවිසුම් අවලංගු කිරීමට තමා කටයුතු කළ බව අවධාරණය කළේය.

සිය ධුරයේ පළමු දින 100 පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කටයුතු කිරීම 'පහසු කටයුත්තක්' යැයි තමන් මුලින් සිතූ බවද කියා සිටියේය.

"මම මගේ ඉස්සර ජීවිතේට මම ආදරය කළා. ඉස්සරට වඩා දැන් වැඩ වැඩියි. මම හිතුවේ මේක පහසු කටයුත්තක් වේවි කියලා. ව්‍යාපාරිකයෙකු සහ රූපවාහිනී තරුවක් වශයෙන් කටයුතු කළ සමය හා සැසඳීමේ දී අද වනවිට මගේ පෞද්ගලිකත්වය සීමා වෙලා. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ දිවි ගෙවීමට මා හුරුවෙමින් සිටිනවා. ඇත්තටම කිව්වොත්, මෝටර් රථයක් පදවමින් නිදහසේ එහා මෙහා යාමට තිබූ අවස්ථාව මගෙන් ගිලිහිලා" යැයි ට්‍රම්ප් කියා සිටියේය.



Recommended Articles