දකුණුදිග පිලිපීනයට බලපෑ ප්‍රබල ටෙම්බින් නිවර්තන සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවන බව විදෙස් වාර්තා පවසයි.
මින්ඩනාඕ දූපතේ විපතට පත් ඇතැම් පිරිස් බේරාගැනීම සඳහා ළඟාවීම අතිශය දුෂ්කර කටයුත්තක් වී ඇති බව පිලිපීන බලධාරීහු පවසති.
ටෙම්බින් සුළි කුණාටුව පැයට කිලෝමීටර් 80ක පමණ වේගවත් සුළං ඇති කරමින් දකුණුදිග පිලිපීනය හරහා ගමන් කර ඇති බවත්, කුණාටුවට හසුවූ පිරිසක් අතුරුදන්ව ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
මින්ඩනාඕ දූපතේ ටියබොඩ් සහ පියාගාපෝ නගර සුළි කුණාටුවෙන් දරුණු ලෙස හානියට ලක්ව ඇති අතර, ඩලාමා ගම්මානය ක්ෂණිකව ඇති වූ ගංවතුර සමග සම්පූර්ණයෙන් සේදී ගොස් තිබේ.
ටෙම්බින් සුළි කුණාටුව මේ වනවිට බටහිර දෙසට ගමන් කරමින් ඇති බව කාලගුණ අංශ පවසයි.