ට්‍රම්ප් නේටෝව අමතයි - ත්‍රස්තවාදය මුලිනුපුටා දමමු


නේටෝ සංවිධානයේ සියලු සාමාජිකයන් එහි ආරක්ෂක වියදම වෙනුවෙන් සාධාරණව තමන්ගේ දායකත්වය කොටස ලබාදිය යුතු බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවරදී නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙය අවධාරණය කළේය.

මේ වෙනුවෙන් දැවැන්ත මුදල් සම්භාරයක් දැනටමත් යොදා ඇති බවත්, සංවිධානයේ සෙසු සාමාජිකයන් තමාගේ කොටස වෙනුවෙන් සාධාරණ දායකත්වයක් දක්වා නොමැති බවද ඔහු පවසයි.

මේ අතර, මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්ද කතා කළ ඇමෙරිකානු නායකයා ත්‍රස්තවාදය ඔවුන්ගේ අක්මුල් සොයමින් විනාශ කළ යුතු බවද කියා සිටියේය.

කුඩා දරුවන් ඇතුළු තරුණ තරුණියන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ම්ලේච්ඡ ප්‍රහාරය වෙනුවෙන් මොහොතක නිශ්ශබ්දතාවයක් රැකීමටද ට්‍රම්ප් කටයුතු කළේය.

නේටෝ සංවිධානයේ නව මූලස්ථාන ගොඩනැගිල්ල වෙත පිටත්ව යෑමට පෙර ට්‍රම්ප් යුරෝපා සංගමයේ රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුම ප්‍රථම වරට හමුවූ අතර, ප්‍රංශයේ නව ජනපති එමානුවෙල් මැක්‍රෝන්ද ඒ අතර විය.

ජනපති ධුරයේ සිය ප්‍රථම නිල විදෙස් සංචාරය සිදුකරන ට්‍රම්ප් අද (26දා) ඉතාලියේ සිසිලි දූපත්වලදී ඇරඹෙන G7 සමුළුව වෙත පිටත්ව යන අතර, ඒ සමගම ජනාධිපතිවරයාගේ දින 8ක සංචාරයද නිමාවට පත්වනු ඇත.



Recommended Articles