ට්‍රම්ප් දියණිය ඉවන්කාට බාධාව ප්‍රේක්ෂකාගාරයෙන්ද?


ජර්මනියේ බර්ලීන් නුවර පැවති G20 කාන්තා සමුළුවේදී ඉවන්කා ට්‍රම්ප් සිය පියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව පවසන විට ප්‍රේක්ෂකාගාරයේ විරෝධයක් එල්ල වූ බව බී.බී.සී.ය පවසයි.

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ලැගාඩ් ප්‍රමුඛව G20 සමුළුමට සමගාමීව සංවිධානය වූ ලෝකයේ නමගිය ව්‍යවසායිකාවන්ගේ විද්වත් කතිකාවක් අතරතුර මෙය සිදුවූ බවද එම වාර්තා පෙන්වා දෙයි.

මෙම කතාවෙන් ප්‍රේක්ෂකාගාරය කෝපයෙන් ප්‍රතිචාර දැක්වූ බවක් බී.බී.සී. හා සී.එන්.එන්. ආදී ප්‍රධාන දහරාවේ ජාත්‍යන්තර මාධ්‍යවල පළ කෙරුණත්, මෙම මාධ්‍ය ඇමෙරිකානු ජනාධිපතිවරණයට පෙර සිටම ට්‍රම්ප් විරෝධී ආකල්පයක හා න්‍යාය පත්‍රයක සිටි බව නොරහසක් බැව් ස්වාධීන මාධ්‍ය වාර්තා පවසයි.

මෙහිදී, බී.බී.සී.ය විශේෂයෙන් පවසා තිබුණේ, "පවුලේ දියුණුවට මෙන්ම, ඔවුන්ට ජයග්‍රාහීව නැගී සිටීමට තම පියා සෑමවිටම සහයෝගය දැක්වූ බව ඉවන්කා පවසන විට" ප්‍රේක්ෂකාගාරයෙන් ගෙරවිලි හඬක් (විරෝධයක්) නැගුණු බවයි.

එම විද්වත් කතිකාවේදී ඉවන්කාගේ කතාවට ප්‍රේක්ෂකාගාරයෙන් සුළු බාධාවක් ඇතිවුවත්, එය සමස්ත ප්‍රේක්ෂකාගාරයේම මතය නොවන බව එම දසුන් නරඹන විට පැහැදිලි වන අතර, ඒ සමග ට්‍රම්ප් කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන ආකල්පය ගැන ඉවන්කා වෙත ප්‍රශ්නයක් එල්ල වූ බවත් ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.

"මේ චෝදනා මාධ්‍ය සිදුකරන ආකාරය තමා දුටු බව සඳහන් කළ ඉවන්කා, තම පියා යටතේ දහස් ගණනක් කාන්තාවක් සේවය කර ඇති බවත්, ඔවුන් සතු හැකියාව නිසි අයුරින් හඳුනාගනිමින් ඔවුන්ට අවස්ථා ලබාදීමට තම පියා නොපසුබට වූ බවත්" අවධාරණය කරයි. එමෙන්ම, "තමාගේ පෞද්ගලික අත්දැකීමට අනුව, දශක කිහිපයක් පියාගේ සෙවණේ හැදී වැඩුණු අයෙකු ලෙස ව්‍යවසායිකාවක ලෙසින් ඉදිරියට ඒම සඳහා තමන්ට පියාගෙන් ලබුණු පන්නරය අති මහත් බවත්" ඉවන්කා වැඩිදුරටත් සපථ කරයි. නමුත්, ඉවන්කා මෙම කරුණු විස්තර කරන විට ප්‍රේක්ෂකාගාරයේ තිගැස්මක් නොවූ බව ස්වාධීන මාධ්‍ය වර්තා විශේෂයෙන් පෙන්වා දෙයි.

මෑතකදී ඇමෙරිකාවේ සංචාරයක නිරත වූ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් විසින් ඉවන්කාට මෙම සමුළුවට සහභාගී වීම සඳහා ආරාධනා කර තිබූ අතර, සිය පියා ජනාධිපතිවරයා වූ පසුව ඉවන්කා සහභාගී වූ ප්‍රථම ජාත්‍යන්තර සමුළුවද මෙයයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරීපත් ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලනයෙන් ඔද්දල් වූ නායකයෙකු නොවූවත්, ඔහුගේ සෘජු තීන්දු තීරණ සම්බන්ධයෙන් බොහෝ ප්‍රධාන දහරාවේ මාධ්‍යයට වඩා බහුතර ඇමෙරිකානු ජනතාව තුළ ප්‍රසාදයක් පවතින බව ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.



Recommended Articles