ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සිංගප්පූරුවේදී පැවැත්වීමට තිබූ හමුව කලින් නියමකර ගත් පරිදි සිදුකළ යුතු බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අවධාරණය කරයි.
පසුගිය බ්‍රහස්පතින්දා මෙම හමුව අවලංගු කරන බව ට්‍රම්ප් පවසා සිටියත්, ප්යොන්යැන්ග් පාලනයෙන් යහපත් හා සන්සුන් ප්‍රතිචාරයක් ලැබුණු පසු ඔහු යළිත් එම හමුව පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබුණි.
එමෙන්ම, ඊයේ (26දා) ට්‍රම්ප් යළිත් පවසා සිටියේ ජූනි 12 වැනිදා සාකච්ඡා සඳහා කලින් නියම කරගත් දිනය වෙනස් නොවන බවයි.
මේ අතර, ඊයේ දිනයේදී උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු නායකයා අතර සිදුවූ හදිසි හමුව උතුරු කොරියාවේ ස්ථාවරයද වඩාත් සඵල කිරීමට හේතු විය.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ දකුණු කොරියානු නායක මූන් ජේ-ඉන් අතර නිතර හමුවීම් පැවැත්වීමටද ඔවුන් එහිදී එකඟත්වයකට පැමිණ තිබුණි.
දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ පැය දෙකකට අධික කාලයක් වඩාත් සුහද කතාබහක් නායක දෙපළ අතර සිදුවූ බවයි.
ඔවුන්ගේ මෙම දෙවැනි හමුවද දෙරටේ යුද මුක්ත කලාපයේදී සිදුවූ අතර, මෙය ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සාකච්ඡා සාර්ථක කරගැනීම වෙනුවෙන් සිදුවූ හමුවක් බව දේශපාලන විචාරකයන්ගේ මතය විය.