ට්‍රම්ප්ගේ සංචාරක තහනම බාධාවකින් තොරව වැඩලු


ට්‍රම්ප් පාලනය විසින් මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයන් 06ක් සහ සරණාගතයන් ඉලක්ක කරමින් පැනවූ සංචාරක තහනම බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, ඉරානය, ලිබියාව, සිරියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවල පුරවැසියන්ට සහ සරණාගතයන්ට ඇමෙරිකාව තුළ සමීප ඥාති සබඳතාවක් හෝ ව්‍යාපාරික සබඳතාවක් නොමැතිව එරටට ඇතුළු වීම පසුගිය 29 වැනිදා සිට අත්හිටුවා තිබේ.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විධායක නියෝගයක් ලෙස හඳුන්වාදෙන ලැබූ විධිවිධාන සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබාදීමත් සමග මෙම සංචාරක තහනම ක්‍රියාවට නංවා තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ විධායක නියෝගයේ කොටසකට පමණක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවිය.

මේ අතර, ඇමෙරිකාව වෙත පැමිණෙන සංචාරකයන් සඳහා නොමිලේ නීති උපදෙස් ලබාදීම සඳහා එරට නීතීඥයන් පිරිසක් ගුවන් තොටුපොළ ආශ්‍රිතව කටයුතු කරමින් සිටින බවද කියැවෙයි.

කෙසේ වෙතත්, මේ වනවිට මෙම නීති හඳුන්වාදීම තුළ කිසිදු ආකාරයක ව්‍යාකූල තත්ත්වයක් ගුවන් තොටුපොළ ආශ්‍රිතව හෝ දැකගැනීමට නොතිබුණු බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

නමුත්, පසුගිය ජනවාරි මාසයේදී මෙම සංචාරක තහනම ජනපති වරයා මුලින්ම හඳුන්වා දුන් අවස්ථාවේදී පැය කිහිපයක් ඇතුළත උද්ඝෝෂණ රැසක් ඇතිවූ අතර, පසුව එය ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටවනු ලැබීය. ඒ අනුව, ජනාධිපතිවරයා මෙම තහනමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ඉල්ලා සිටියේය.

ඒ අනුව, මේ වනවිට පැනවී ඇති තහනම දැනට නීත්‍යනුකූල වීසා හෝ ග්‍රීන් කාඩ් හිමි සංක්‍රමණිකයන්ට කිසිදු ආකාරයක බලපෑමක් නොකිරීමද මෙවැනි කලබලයක් ඇති නොවීමට හේතුවක් බව කියැවෙයි.

ඇමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඇමෙරිකාවේ සියලු ගුවන් තොටුපොළවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

මෙම නව තහනම යටතේ, වීසා බලපත් අයැදුම් කිරීම හා සම්බන්ධ නව නීතිවලට අනුව ඇමරිකාව තුළ දෙමවුපියන්, විවාහක සහකරු හෝ සහකාරිය, දරුවන්, බෑණා හෝ ලේලි, සහෝදර සහෝදරියන් වැනි සමීප සබඳතා නොමැති පුද්ගලයන්ට එහි පැමිණීමට නොහැකි වනු ඇත.

එමෙන්ම, සමීප සබඳතා නිර්වචනය කර ඇති ආකාරය අනුව සීයා-ආච්චි, නැන්දා-මාමා, සහෝදර සහෝදරියන්ගේ දරුවන්, මුනුබුරු මිනිබිරියන් සහ විවාහක සහකරු හෝ සහකාරියගේ ඥාතීන් ඊට ඇතුළත් නොවෙති.

මීට අමතරව, ඇමෙරිකාව සමග සමග ව්‍යාපාරික හෝ අධ්‍යාපනික සබඳතා ඇති පුද්ගලයන් නව නීතියෙන් නිදහස් කර ඇත.

විශේෂයෙන්ම, දැනට වීසා බලපත් හිමි පුද්ගලයන් සඳහා නව නීති මගින් බලපෑමක් එල්ල නොවූ අතර, 29 වැනිදා වොෂිංටන් වේලාවෙන් රාත්‍රී 8.00 සිට මෙය ක්‍රියාවට නංවා තිබුණි.

මෙම සංචාරක තහනම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව හා අන්තවාදී සංවිධාන කවර ප්‍රකාශයක් සිදුකළද, මෙය ඇමෙරිකාව වෙත ත්‍රස්තවාදීන් ඇතුළුවීම වැළැක්වීමේ අරමුණින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ජනපති ට්‍රම්ප් මුල සිටම අවධාරණය කර සිටියේය.



Recommended Articles