ජෝර්ජ් කුමරු ප්‍රථම විදෙස් සංචාරයේ


මහා බ්‍රිතාන්‍යයේ රජ පවුලට එකතු වුණු අලුත්ම රාජ කුමාරයා ජෝර්ජ් කුමරු බව නොදන්න කෙනෙක් නැති තරම්. නමුත්, ජෝර්ජ් කුමාරයාට දැන් මාස හයක් විතර වුණාට එයාව නිතර දකින්න ලැබෙන්නෙ නම් නැහැ. මොකද රාජ කුමාරයෙක් නිසාම බොහොම පරිස්සමට තමයි එයා හැදී වැඩෙන්නෙ. ඒත් පහුගිය දවසක ජෝර්ජ් කුමාරයාගේ අලුත්ම ඡායාරූප කිහිපයක් ලබාගන්න හෙලෝ සඟරාවෙ පැපරාසි ඡායාරූප ශිල්පියෙක් සමත් වෙලා තිබුණා. 

ඒ ජෝර්ජ් කුමාරයාගේ ප්‍රථම විදෙස් සංචාරයේදීයි. ජෝර්ජ් කුමාරය මේ විදියට ආවෙ ශාන්ත වින්සන්ට් කියන කැරීබියන් දූපත වෙතටයි. ජෝර්ජ් එක්ක මේ විනෝද චාරිකායට එයාගෙ අම්මා කේට් කුමරියත් පැමිණියා. නමුත් විලියම් කුමරුට මේ නිවාඩුවට එකතු වෙන්න අවස්ථාව නොලැබුනේ ඒ වනවිටත් කුමරු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි නිසයි. ඒ නිසා අම්මයි පුතයි පෞද්ගලික ජෙට් යානයකින් කැරීබියන් වෙත පැමිණි බවයි කියැවෙන්නෙ.

පුංචි ජෝර්ජ් කුමරු වගේම කේට් කුමරියත් හොඳ සෞඛ්‍ය සම්පන්නව කාලය ගත කරන බව මේ ඡායාරූප සාක්ෂි දරණ බව හෙලෝ සඟරාව කියනවා. මේ සංචාරයට කේට් කුමරියගේ සහෝදරයා වූ ජේම්ස් මිඩ්ල්ටන් එකතුව සිටි බවත් කියනවා. ඒ හැරුණු කොට ඇයගේ පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනා පමණයි.

කොහොම වුණත්, මේ සුන්දර දූපතේ මිඩ්ල්ටන් පවුලට අයත් අධි සුඛෝපභෝගී මන්දිරයක් තියෙනවලු. හෙලෝ සඟරාව කියන විදියට කේට් කුමරියගෙ අම්මයි, තාත්තයි, සහෝදරිය වූ පිප්පයි ඔවුන් පැමිණීමේ බලාපොරොත්තුවෙන් එහි සිටි බවත් කියැවෙනවා. මොකද, කේට් කුමරියගේ මවගේ 59 වැනි උපන්දිනයත් මේ දින වකවානුවලම යෙදී තිබුණු නිසා.

කොහොම වුණත් තවත් මාස කිහිපයකින් ජෝර්ජ් කුමරු නවසීලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ සංචාරය කරනු ඇති බවටත් ඉඟි පළ වෙනවා. ඒ කේට් සහ විලියම්ගේ නිල සංචාරයක් ඉදිරියේදී යෙදී තිබෙන නිසයි. එහෙම බැලුවොත්, මාස 10ක් වෙන්නත් කලින් සැතපුම් 40,000ක් දුර ලොකු සංචාරයකට පුංචි රාජ කුමාරයත් එකතු වෙයි කියලයි හෙලෝ සඟරාව කියන්නෙ.



Recommended Articles