ජෙරුසලම පලස්තීනයේ අගනුවරයි -තුර්කි ජනපති


ජෙරුසලම පලස්තීනයේ අගනගරය විය යුතු බවත්, ඒ වෙනුවෙන් සියලු මුස්ලිම් රාජ්‍යයන් පෙනී සිටිය යුතු බවත් තුර්කි ජනපති රිසෙප් තයේප් එර්ඩෝගාන් අවධාරණය කරයි.

ඉස්ලාමීය සහයෝගීතා සමුළුව අමතමින් තුර්කි ජනපතිවරයා මෙම අදහස් දක්වා ඇති අතර, ඊශ්‍රායල් අගනගරය ලෙස ජෙරුසලම හැඳින්වීමට ඇමෙරිකාව ගත් තීරණය නිශ්ප්‍රභ කරමින් එය අවලංගු කළ යුතු බවද හෙතෙම අවධාරණය කර තිබේ.

එමෙන්ම, ඊශ්‍රායලය ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස හැඳින්වීමටද තුර්කි ජනපතිවරයා මෙහිදී කටයුතු කර ඇත.

මේ අතර. පලස්තීන අගමැති මහමූද් අබ්බාස් පවසා සිටියේ මැදපෙරදිග සාම ක්‍රියාවලිය වෙනුවෙන් වූ ඇමෙරිකාවේ නොහැකියාව මේ ඔස්සේ ඔවුන් පෙන්නුම් කර ඇති බවයි.

"මින් ඉදිරියට සාම ක්‍රියාවලියේ කිසිදු ආකාරයේ භූමිකාවක් අප පිළිගන්නේ නෑ. ඔවුන් ඊශ්‍රායලය වෙත දක්වන උපරිම පක්ෂග්‍රාහී බව මේ ක්‍රියාවලියේදී පෙන්නුම් කළා" යැයි එම සමුළුව අමතමින් අබ්බාස් පවසා තිබේ.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර අළුයට ගිනිමෙන් ඇවිලෙන අර්බුදයේ ප්‍රධාන සාධකය ජෙරුසලමේ හිමිකාරීත්වයයි.

මේ සංවේදී කාරණය හමුවේ පසුගියදා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනගරය ලෙස ජෙරුසලම පිළිගන්නා බවත්, ටෙල් අවීව් නුවර පිහිටි ඊශ්‍රායල්යේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමේ පිහිටුවන බවත් කියා සිටියේය.

මේ තීරණයත් සමග මේ වනවිට මැදපෙරදිග මෙන්ම මුස්ලිම් ලෝකය තුළ ඇමෙරිකානු විරෝධයක් මතුවෙමින් පවතින අතර, ඇමෙරිකානු ජනපතිවරයා තමන් ජනපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් ඉටුකිරීමක් මෙහිදී සිදුකර තිබේ.

1_Jerusalam



Recommended Articles