ජෙනරාල්ට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වෙයි


හමුදාවේ ඉහළම නිලයක සිටින නිලධාරියෙකුට ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වූ ප්‍රථම අවස්ථාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.

හමුදා කපිතාන්වරියක විසින් මෙම චෝදනාව එල්ල කර ඇත්තේ, ඇමෙරිකානු හමුදාවේම ජ්‍යෙෂ්ඨ නිලයක් හොබවන ජෙනරාල් ජෙෆ්රි සින්ක්ලෙයාර් වෙතය.

හමුදා අධිකරණය හමුවේ හැඬූ කඳුලින් සාක්ෂි දෙමින් ඇය පවසා සිටියේ, තමාට සිදුකළ ලිංගික අඩම්තේට්ටම් පිළිබඳව ලොවට හෙලි කළහොත් මුලින්ම ඇයවත්, දෙවනුව ඇගේ පවුලේ සියලු දෙනාවත් මරා දමන බවට මෙම ජෙනරාල්වරයා තමන්ව බිය වද්දමින් තර්ජනය කළ බවය.

ජෙනරාල්වරයා තම බලය පාවිච්චි කරමින් මේ කාන්තා සෙබලිය අයුතු යෝජනාවන් වෙනුවෙන් නම්මා ගෙන ඇති බව කපිතාන්වරිය වෙනුවෙන් ඉදිරිපත්ව සිටි නීතීඥයෝ පෙන්වා දුන්හ. එමෙන්ම, වසර තුනක් පුරා ඔහු මේ සෙබලිය සමග සබඳතා පවත්වා ඇති බවද ඇයගේ සාක්ෂි විමසීමේදී හෙළිදරව් විය.

මේ අතර, ජෙනරාල්වරයාගේ නීතීඥයන් විසින් කපිතාන්වරියගේ පෞද්ගලික දින පොතේ පිටු කිහිපයක් කියවන ලදී. එහි කියවුනේ ඇය කොතෙක් දුරට මේ ජෙනරාල්වරයාට ආදරය කළේද යන්න කියැවෙන වැකිය. ඔහුගෙන් තොර ලෝකයක් ඇයට නොමැති බව ඇය එහි කියා තිබුණි. මේ කරුණු උපුටා දක්වමින් ජෙනරාල්වරයාගේ නීතීඥයන් පෙන්වා දුන්නේ, මැයත් සමග සබඳතාවක් පැවැත්වූවත්, සිය සේවාදායකයා තම බිරිඳට අසීමිතව ආදරය කිරීම සම්බන්ධයෙන් උරනවීමෙන් මෙම කපිතාන්වරිය මේ ආකාරයේ චෝදනාවක් ගොතන බවය.

නඩු විභාගයේදී ඉදිරිපත් වූ තවත් සාක්ෂිවලට අනුව ඔවුන් දෙදෙනාම ලිංගිකත්වය උද්දීපනය වන කෙටි පණිවුඩ හුවමාරු කරගෙන ඇති බවද කියවුණි.

කෙසේ වෙතත් මෙම නඩු විභාගයේදී ජෙනරාල් ජෙෆ්රි මෙම කපිතාන්වරියට එරෙහිව ලිංගික අඩම්තේට්ටම් කිරීමක් සිදුකර ඇති බවට ඔප්පු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බව කියැවෙයි.

ජෙනරාල් ජෙෆ්රි ඇමෙරිකානු හමුදාවේ 82 වැනි විශේෂ එයාර්බෝන් බලඇණියේ හිටපු දෙවැනි අණදෙන නිලධාරියාය.



Recommended Articles