ජිහාඩ් අන්තවාදීන් සිටී නම් දන්වන්න - ස්කොට්ලන්ඩ්යාඩ්


සිරියාවට සංක්‍රමණය වූ හෝ ජිහාඩ් අන්තවාදී අදහස් ප්‍රකට කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු වෙතොත් වහාම දන්වන ලෙස මහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ, ප්‍රති-ත්‍රස්ත මෙහෙයුම් ප්‍රධානියා එරට ජනතාවට දන්වා සිටියි.

ඇමෙරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆෝලේ සිරියාවේදී අමානුෂික ලෙස ඝාතනය වීම හා එම ඝාතකයා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බව හෙළිවීම තුළ මෙම දැනුම්දීම එරට ජනතාව වෙත සිදුකර තිබේ.

මෙම ජිහාඩ් අන්තවාදීන් ඇති දැඩිවන ප්‍රධාන ස්ථාන ලෙස ලන්ඩන් නගරය හා බටහිර මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශ හඳුනාගෙන තිබේ.

ලැබී තොරතුරු අනුව බ්‍රිතාන්‍ය තුළ පුද්ගලයන් 10 දෙනෙකු පමණ මෙසේ අන්තවාදීන් කණ්ඩායම් වෙත එකතු වීමට සිරියාවට හෝ ඉරාකයට යෑමට උත්සාහ ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

එහිදී, බොහෝ තරුණයන් අතිශය කණගාටුදායක ලෙස තම අන්තවාදී අදහස්වලට නැඹුරු කරගෙන ඇති බවත්, එසේ ඉරාකයට හෝ සිරියාවට යන පිරිසෙන් අඩකට වැඩි පිරිසක් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධයක් නොතිබූ පිරිසක් බවත් පැවසෙයි.

ඒ අනුව, දෙමවුපියන්, පවුලේ සාමාජිකයන්, අසල්වාසීන් මෙන්ම සමස්ත සමාජයම තම නිවෙස හෝ සමාජයේ සිටින මෙවැනි ජිහාඩ් අන්තවාදී මත දරන්නන් පිළිබඳ වහාම දැනුම්වත් කරන ලෙස ප්‍රති-ත්‍රස්ත ප්‍රධානියා විශේෂයෙන් ඉල්ලා සිටියි.



Recommended Articles