ජාත්‍යන්තර සියුම් පරීක්ෂාවට මියන්මාරය බිය වී නෑ - සුඛී


රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සියුම් පරීක්ෂාවට මියන්මාරය කිසිදු ආකාරයකින් බිය නොවන බව එරට නිල නොලත් නායිකා අවුන්ග් සාන් සුඛි අවධාරණය කරයි.

උතුරුදිග රඛයින් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේදී සුඛි ප්‍රථම වරට ජාතිය අමතමින් අදහස් දක්වා ඇත්තේ ලොව පුරා ජාත්‍යන්තර මාධ්‍ය සහ ඇතැම් සංවිධාන විසින් මියන්මාරය ඉලක්ක කරමින් එල්ල කරන චෝදනාවලට පිළිතුරු ලෙසිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලක්ෂ 4ක පමණ රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට පළාගොස් ඇති බව කියවුණත්, පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සුඛි පවසා සිටියේ රඛයින් ප්‍රාන්තයේ සිටින බහුතර මුස්ලිම් ප්‍රජාව එම ප්‍රාන්තය අත්හැර ගොස් නොමැති බවයි. එමෙන්ම, මේ වනවිට ප්‍රාන්තයේ සිදුවන ගැටුම් නවතා ඇති බවද ඇය අවධාරණය කරයි.

එහිදී, මෙම ගැටුමට මැදිවීමෙන් වේදනාවට පත් සියලු ජනකොටස් සම්බන්ධයෙන් තමන් හදවතින්ම කනගාටුවන බව පැවසූ සුඛි, ප්‍රාන්තයේ ජීවත් වන සියලු ජනකොටස්වලට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කළ බවද පෙන්වා දී තිබේ.

පසුගියදා ඇරඹි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී නොවීමට තීරණය කළ මියන්මාර නිල නොලත් නායිකාව, තම රජය සිදුකරන සැබෑ ක්‍රියාදාමය පිළිබඳ ජාත්‍යන්තරයට කරුණු පැහැදිලි කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවද කියා තිබේ.

මේ අතර, සිය කතාවේදී රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරට හමුදාවෙන් එල්ල වූ තාඩන පීඩන සම්බන්ධයෙන් ඇය අදහස් නොදක්වා ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය හුවා දැක්වීමක් කර තිබේ. එමෙන්ම, මෙය සත්‍ය හා අසත්‍ය අතර මිශ්‍රණයක් බවද ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා ඇත්තේ, ඔවුන් පවසන්නේ සම්පූණ සත්‍යය බව නොකියා කියමිනි.



Recommended Articles