ජර්මනියේ රොක් ප්‍රසංගයක් අතරතුර ත්‍රස්ත අවදානමක්


බටහිර ජර්මනියේ රොක් සංගීත ප්‍රසංගයක් ඇතුළු සංගීත සැණකෙළියක පැවති ත්‍රස්ත අවදානමක් හේතුවෙන් ප්‍රේක්ෂකයන් සියලු දෙනා ඉවත්කිරීමට සංවිධාකයන් කටයුතු කර තිබේ.

ජර්මනියේ ප්‍රකට රොක් සංගීත කණ්ඩායමක් වූ රැම්ස්ටෙයින් ගී ගයන රොක් ඇම් රින්ග් සංගීත ප්‍රසංගය අතරතුර මෙය සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

'ත්‍රස්ත අවදානමක් හේතුවෙන් ප්‍රසංගයට බාධා කිරීමටත්, පිරිස විසුරුවා හැරීමටත් පොලීසිය උපදෙස් ලබාදී තිබෙනවා' යැයි සංවිධාකයෝ පවසා සිටියහ.

ඒ අනුව, කලබලයකින් තොරව, නිසි පාලනයකින් යුතුව පිරිස ඉවත් කිරීමට කටයුතු කළ බවද සංවිධාකයෝ පවසති.

දින තුනක් පුරා පැවැත්වීමට තිබූ මෙම ප්‍රසංගයට හා සැණකෙළියට 85,000ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිතව තිබුණත්, යළි ආරක්ෂිත ප්‍රසංගය පැවැත්වීමට සූදානම් වන බවද සංවිධාකයන් පවසා තිබුණි.

පසුගියදා බ්‍රිතාන්‍යයේ මැස්චෙස්ටර් නුවර සංගීත ප්‍රසංගයකදී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදියෙකු සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 දෙනෙකුට ජීවිත අහිමිව තවත් විශාල පිරිසක් තුවාල ලැබීය.

කෙසේ වෙතත්, යුරෝපය පුරා මේ වනවිට ත්‍රස්ත අවදානම ඉහළ දමා ඇති අතර, ඉස්ලාමීය අන්තවාදීන් යුරෝපයේ සාමකාමී ජනජීවිතයට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.



Recommended Articles