ජර්මානියේ මාර්කල් සිව් වැනි වරටත් චාන්සලර්


ජර්මානු ෆෙඩරල් මැතිවරණයේ ප්‍රතිඵල අනුව එරට චාන්සලර් ඇන්ජෙලා මර්කල් සිව්වැනි වරටත් එම ධුරය සඳහා තේරීපත්ව තිබේ.

කෙසේ වෙතත්, ජර්මානු චාන්සලර්වරියට සහ ඇය නියෝජනය කළ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මෙවර ලබාගැනීමට හැකි වූ ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවී තිබුණි.

පසුගිය කාලය පුරාවට යුරෝපයට ඇතුළු වූ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දයාවේ දෑත් දිගුකිරීමට ගොස් ඇන්ජෙලා මාර්කල් හොස්ස බිම ඇණගත් අවස්ථාවක් ලෙස ඇගේ විරුද්ධවාදීන් මෙය හැඳින්වීය.

ඇයගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ජර්මනිය තුළ දැඩි දෝෂදර්ශනයට ලක්වූ සහ ප්‍රතික්ෂේප වූ අවස්ථාවක් ලෙස මෙවර ඡන්ද ප්‍රතිඵලය පිළිබිඹු කරන බවද දේශපාලන විචාරකයෝ පවසති.

මෙවර මැතිවරණයේ අවසන් ප්‍රතිඵලවලට අනුව එරට සංක්‍රමණික විරෝධී අන්තදක්ෂිණාංශික පක්ෂයක් වන ජර්මනිය සඳහා විකල්පයක් හෙවත් ඒ.එෆ්.ඩී. පක්ෂයට තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්වීමද කැපී පෙනෙන්නකි.

මේ තත්ත්වයත් සමගම ජර්මානු පාර්ලිමේන්තුවේ සමස්ත ආසන 709 න් 200 ක් මර්කල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙතත්, ආසන 46 ක් ක්‍රිස්තියානි සමාජවාදී පක්ෂයටත් හිමිව තිබේ. එහෙත් එය පිළිවෙලින් ආසන 55 ක් සහ ආසන 10ක අඩුවීමකි. එසේම තෙවැනි ස්ථානය දිනූ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ආසන 153 ක් හිමිව ඇත. මීට අමතරව අන්තදක්ෂිණාංශික, සංක්‍රමණ විරෝධී ඒ.එෆ්.ඩී. පක්ෂය ආසන 94 ක් දිනාගැනීමට සමත්ව තිබේ.

1_Markel 2



Recommended Articles