ජයලලිතාගේ තැනට සසිකලා


ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් හිස් වූ තමිල්නාඩුවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් ධුරය සසිකලා නටරාජන් වෙත හිමිවී තිබේ.

ජයලලිතාගේ නිවසේ කටයුතු සොයා බැලීමේ සිට ඇයගේ අතිශය විශ්වාසවන්ත මිතුරිය දක්වා පැමිණි ගමන්මගේ අවසානය ලෙස ජයලලිතා මෙන්ම, සසිකලාද අතිශය දීර්ඝ දේශපාලන ගමනක් පැමිණ ඇති බව තමිල්නාඩුවෙන් වාර්තා වෙයි.

දශක තුනකට අධික කාලයක් ජයලලිතා සමග සමීප ඇසුරක් පැවැත්වීම නිසා චින්නම්මා හෙවත් පුංචි අම්මා යන අනවර්ථ නාමයෙන්ද (ජයලලිතා අම්මා යනුවෙන් හැඳින්වීය) තමිල්නඩු වැසියන් සසිකලා ඇමතීය.

ජයලලිතා සහභාගී වූ බොහෝ පොදු වැඩවලදී හා දැවැන්ත මහජන රැළිවලදී ඇයගේ සමීපයේම රැඳී සිටි සසිකලා, ගසට පොත්ත මෙන් ජයලලිතා සමග බැඳී සිටියාය.

කෙසේ වෙතත්, එම කාලය තුළ ජයලලිතාගේ දේශපාලන පක්ෂයේ හෝ ප්‍රාන්ත රජයේ ධුරයක් සසිකලා වෙත ලබා නොදුන්නත්, ඇගේ අනන්‍යතාව නිරන්තරයෙන් රැඳී තිබුණේ ජයලලිතාගේ පෞද්ගලික සහායිකාව හා අතිශය විශ්වාසවන්ත හිතවතිය ලෙසිනි.

ඒ අනුව, ජයලලිතාගේ අභාවයෙන් පසුව සසිකලා නොසිතූ හා මෙතෙක් හිමි නොවූ දැවැන්ත අවස්ථාවක් ඇය වෙත හිමිව ඇති බව විචාරකයෝ පවසති.

එහි විශේෂත්වය නම් ඉන්දියාවේ දකුණුදිග ප්‍රාන්තය පසුගිය දශක හතරක කාලය තුළ වසර 25කට අධික කාලයක් පාලනය කරන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ සුක්ඛානව දැරීමේ අවස්ථාව සසිකලා වෙත හිමිවී ඇත.



Recommended Articles