ජමාට් ඉස්ලාමීය නායකයාට මරණ දඬුවම


බංග්ලාදේශයේ ජමාට් ඉස්ලාමීය පක්ෂයේ නායක මතියුර් රහ්මන් නිෂාමි වෙත මරණීය දඬුවම් නියම කර තිබේ.

බංග්ලාදේශයේ බලවත්ම ඉස්ලාමීය පක්ෂය වන ජමාට් ඉස්ලාමියා පක්ෂය මෙම තීරණයට දැඩි විරෝධයක් පළ කර ඇති බවත් කියැවෙයි. විශේෂ යුද අපරාධ අධිකරණය විසින් දෙනලද මෙම තීන්දුව ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බව ඔවුන් පවසයි.

නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව විත්තියේ නීතීඥ තජුල් ඉස්ලාම් කියා සිටියි.

‘මේ ලබාදුන් නඩු තීන්දුව ඉතා අසතුටුදායකයි. මන්දයත්, අධිකරණය ඊට අයත් අධිකරණ බලයේ සීමාව ඉක්මවා ගියා. මේ අධිකරණය තුළ දේශපාලන භාෂාවක් භාවිත කෙරුණා. උදාහරණයක් විදියට රහ්මන් නිෂාමි ඇමතිවරයකු ලෙස පත් කරනු ලැබීම ඓතිහාසික වරදක් හැටියට අධිකරණය විසින් විග්‍රහ කරනු ලැබුවා’ යනුවෙන් නීතීඥයෝ පවසති.

හිටපු ඇමැතිවරයකුද වන මතියුර් රහ්මන් නිෂාමි 1971 වසරේ බංග්ලාදේශය පකිස්තානයට එරෙහිව නිදහස උදෙසා ගෙන ගිය අරගල සමයේදී ඔහු විසින් සිදු කරනලද මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ සහ වෙනත් අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු කෙරිණි.

බංග්ලාදේශයේ වත්මන් පාලක අවාමි පක්ෂය කියා සිටින්නේ, රට අතීත අමිහිරි මතකයෙන් ගොඩ ගැනීමට මෙවැනි නඩු විභාග පවත්වා වරදකරුවන්ට දඬුවම්දීම අත්‍යවශ්‍ය බවයි.

 



Recommended Articles