ජපානයේ රක්ෂණ සේවයට රොබෝවරුන් පැමිණෙයි


තාක්ෂණය දියුණුවත්ම මිනිසාගේ කාර්යයන් සඳහා රොබෝ යන්ත්‍ර යොදාගැනීමේ ආසන්නතම හා වඩාත් ප්‍රායෝගිකම සිදුවීමක් ජපානයෙන් වාර්තා වෙයි.

ඒ අනුව, ජපානයේ රක්ෂණ සමාගමක් විසින් එහි සේවකයන් 34 දෙනෙකු වෙනුවට, කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝ යන්ත්‍ර සේවයේ යොදවා ඇති බව කියයි.

මෙම කෘත්‍රිම බුද්ධිය විසින් රක්ෂණ ගෙවීම් සිදුකිරීම සඳහා අදාළ ගණනය කිරීම් සිදුකිරීම අරඹා ඇති අතර, මේ තත්ත්වයත් සමග එම සමාගමේ ඵලදායීතාව 30% කින් ඉහළ ගොස් ඇති බව ඔවුහු පවසති.

ඔවුන් මේ සමග වසරකට යුවාන් මිලියන 140ක් සාමාන්‍ය සේවකයන් සඳහා ගෙවන වේතනයන්ගෙන් ඉතිරි කරගැනීමට බලාපොරොත්තු වන අතර, මෙම කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ යන්ත්‍ර ස්ථාපිත කිරීම සඳහා එකවර යුවාන් මිලියන 200ක් වැයවන බව කියයි. ඉන් අනතුරුව වසරකට ඒවා නඩත්තුව සඳහා යුවන් මිලියන 15ක් පමණක් වැයවන බවද එම සමාගම පෙන්වා දෙයි.

අයි.බී.එම්. ජපාන සමාගම වන වොට්සන් සමාගම විසින් හඳුන්වාදී ඇති මෙම කෘත්‍රිම බුද්ධිය ඔවුන් අර්ථ දක්වා ඇත්තේ මනුෂ්‍යයෙකු ආකාරයෙන් සිතා වැඩ කිරීමට හැකි පද්ධතියක් ලෙසයි.

එහිදී, රක්ෂණාවරණයකට යටත්වූ අයෙකුගේ සියලු දත්ත විශ්ලේෂණය කිරීම, ඕඩියෝ, වීඩියෝ, ඡායාරූප හා වචන ලෙස ඇති සැලසුමකින් තොරව ඇති ඕනෑම දත්තයක් වඩාත් නිවැරදිව තේරුම් ගැනීම මෙම කෘත්‍රිම බුද්ධියට හැකි බවද එම සමාගම පවසයි.

මේ සමගම ජපානයේ තවත් රක්ෂණ සමාගම් කිහිපයක් මේ ආකාරයෙන් කෘත්‍රිම බුද්ධියෙන් ප්‍රයෝජන ගැනීමට සූදානම් වෙමින් සිටී.



Recommended Articles