ජපානයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ සතොරු අන්සාකි තම පාසල් මිතුරන්, ව්‍යාපාර හවුල්කරුවන්, සේවකයන් ඇතුළු සිය ජීවිත කාලය තුළ ඔහුට උපකාර කළ සියලු දෙනා කැඳවා ඔවුන්ට ස්තූති කිරීමේ අවසන් භෝජන සංග්‍රහයක් පැවැත්වූ පුවතක් ජපානයෙන් වාර්තාවෙයි.
පිළිකා රෝගයක් වැළඳීම නිසා ජීවිතයත් මරණයත් අතර සිටින අන්සාකි මෙම සාදය සඳහා 1,000කට වැඩි පිරිසකට ආරාධනා කර තිබූ බව ජපාන මාධ්‍ය පවසයි.
ජපානයේ යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන කොමට්සු සමාගමේ හිටපු සභාපතිවරයා වන අන්සාකි 80 වැනි වියේ පසුවන අතර, ඔහුගේ පිත්තාශයේ වර්ධනය වෙමින් පවතින පිළිකාව ඔහුගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල කර තිබේ.
කෙසේ වෙතත්, මෙම සාදය අවස්ථාවේදී අදහස් දැක්වූ අන්සාකි පවසා සිටියේ තම ජීවිතයේ හමුවූ මිනිසුන්ට ස්තූති කිරීමට ලැබීම මහත් සතුටක් බවය. ජීවත්වීමට ඉතිරිව ඇති ඉතා කෙටි කාලයේදී මේ ජීවිතයේ ගුණාත්මකබව තවදුරටත් වැඩිකර ගැනීමට තමන් කැමති බවත්, ඒ නිසාම අතුරු ප්‍රතිඵල ගෙනදෙන ප්‍රතිකාර පවා තමන් නතර කළ බවත් හෙතෙම පවසා තිබේ.
සාදයට පැමිණි සියලු දෙනාට අතට අත දී ඔහු සිය හෘදයාංගම ආචාරය පුද කළ අතර, ඒ වෙනුවෙන් ටෝකියෝ නගරයේ දැවැන්ත හෝටලයක් වෙන්කර තිබූ බවද ජපාන වාර්තා වැඩිදුරටත් පවසයි.