ජනපති විශ්වාස කළ නොහැකි බව උද්ඝෝෂකයෝ කියති


යුක්රේනයේ දේශපාලන අර්බුදය විසඳීමේ සම්මුතියකට එරට ජනාධිපතිවරයා හා විපක්ෂ කණ්ඩායම් එකඟ වුවත් තවමත් දහස් ගණන් උද්ඝෝෂකයන් කියෙව් අගනුවර රැඳී සිටින බව ප්‍රංශ පුවත් සේවය පවසයි.

මෙම සම්මුතියේ එක් අංගයක් ලෙස නියමිත කාලයට පෙර හදිසි ජනපතිවරණයක් සඳහා එරට ජනාධිපති වික්ටර් යනුකෝවිච් එකඟත්වය පළ කර තිබිණි.

මීට අමතරව, ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන ව්‍යවස්ථා සංශෝධනවලට සහ ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීමටත් තමන් එකඟ වූ බව යනුකොවිච් ජනාධිපතිවරයා පවසා තිබිණි.

නමුත්, කියෙව් අගනුවර රැස්වී සිටින උද්ඝෝෂකයන් බහුතරයක් කියා සිටින්නේ ජනාධිපති යනුකොවිච් විශ්වාස කළ නොහැකි බවය.

මේ අතර, ඇමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන්ද මෙම සම්මුතිය ඉක්මණින්ම ක්‍රියාත්මක කළ යුතු බවට එකඟත්වයක පසුවන්නේ යැයි බලධාරීහු පවසති. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි ජනාධිපතිවරුන් අතර පැවති දුරකථන සංවාදයකදී මේ අදහස් පළ වී තිබේ.

මේ අතර පසුගිය දිනවල කියෙව් අගනුවර ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ අවමංගල්‍ය උත්සවයක්ද දහස් ගණන් උද්ඝෝෂකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.  



Recommended Articles