චෙන්නායි අබිසරුලියන් ආරක්ෂිත කලාපයක් ඉල්ලයි


ඉන්දියාවේ මුම්බායි නගරයේ වෙසෙන අබිසරුලියන්ට මෙන්ම, තමන්ටත් මූලික පහසුකම් සහිත ආරක්ෂිත කලාපයක් අවශ්‍ය බව චෙන්නායි නගරයේ ලිංගික සේවයේ නිතර කාන්තාවන් ප්‍රාන්ත රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

අබිසරුලියන් පිරිසක් විසින් පිහිටුවා ගත් සංවිධානයක් මගින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, ඔවුන් අවධාරණය කර ඇත්තේ තම සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාම පිණිස වෙනම කලාපයක් අවශ්‍ය බවය.

ඒ අනුව, නවාතැන්, විදුලිය, ජලය, සායන පහසුකම්, භෝජනාගාර, කාන්තා පොලිස් සේවයක්, ප්‍රවාහන පහසුකම් , නීති උපදෙස් සහ පුනරුත්ථාපනය සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් යනාදිය ඔවුන් මූලික පහසුකම් ලෙස ඉල්ලා ඇති බව වැඩිදුරටත් පැවසෙයි.

අබිසරුලියන්ගේ සංගමයේ ලේකම් කේ.කලෙයිවානි පවසන පරිදි ඔවුන් මෙවැනි ඉල්ලීමක් සිදුකිරීමට හේතුවී ඇත්තේ, පොලීසිය මගින් ගෙනෙන අසත්‍ය චෝදනා, මැරයන්ගෙන් එල්ලවන හිරිහැර සහ රැවටීම් කරන සේවා දායකයන්ගෙන් තමන්ට ආරක්ෂාව සලසා ගැනීම සඳහාය.

මෙම අබිසරුලියන්ගේ සංගමයේ සාමාජික සංඛ්‍යාව 2088ක් වන අතර, චෙන්නායි නගරයේ අබිසරුලියන් 11,000ක් ඇතුළුව තමිල්නාඩුවේ 90,000ක් කාන්තාවෝ ලිංගික සේවයේ යෙදී සිටිති.



Recommended Articles