චීනයේ සොන්ග් රාජ වංශය පැවති සමයේ නිර්මාණය කෙරුණු වර්ෂ 1000ක පමණ ආයු කාලයකින් යුතු විශේෂ පළඟනාවක් ඇ.ඩො.මිලියන 38කට (රු.කෝටි 570කට පමණ) හොංකොං හි පැවති වෙන්දේසියකදී අලෙවි වී ඇත.
මෙය චීන පෝසිලේන් නිෂ්පාදනයක් අලෙවි වූ ඉහළම මිල ලෙස ඉතිහාසගත වෙයි.
සෝත්බයිස් වෙන්දේසිකරුවන් පවසා සිටියේ මෙම දුර්ලභ පළඟනාව සිය වෙන්දේසිය ආරම්භ වී විනාඩි 20ක් ඇතුළත මෙවැනි අති විශාල මිලකට අලෙවි වූ බවයි.
සෙන්ටිමීටර් 13ක් පමණ විශාලත්වයකින් යුතු මෙම කුඩා පළඟනාව නිල් කොළ වර්ණයෙන් යුතු වූවකි.
කෙසේ වෙතත්, මෙම පළඟනාව මිලදී ගත් තැනැත්තා සිය නම හෙළි නොකරන ලෙසද වෙන්දේසිකරුවන්ගෙන් ඉල්ලා ඇති බව දැනගන්නට ලැබේ.
වෙන්දේසිය ආරම්භයේදී ඇ.ඩො.මිලියන 10.2කට මෙහි ලංසු තැබීම සිදු වුවත්, දුරකථනය ඔස්සේ වෙන්දේසියට සම්බන්ධ වූ ගැනුම්කරුවෙකු මෙම වාර්තාගත මුදල ලබාදෙමින් එහි අයිතිය තමන් සතු කරගෙන තිබේ.