ගිරා පැටියෙක් මනුෂ්‍ය ඝාතකයා අල්ලා දෙයි


තම ස්වාමියාව මරා දැමූ ඝාතකයා හඳුනා ගැනීමට ගිරා පැටියෙකු හෝඩුවාවක් ලබාදීමේ සුවිශේෂි සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉන්දියාවේ, අග්‍රා හි පදිරංචි 55 හැවිරිදි කාන්තාවක පසුගිය 20 වැනිදා පිහි ඇණුමකින් මරා දමා තිබුණු අතර, මේ සම්බන්ධයෙන් සැකයට තුඩුදෙන කිසිවක් සොයාගැනීමට පොලීසියට නොහැකි විය.

කෙසේ වෙතත්, මෙම මරණය සිදුවීමෙන් දින කිහිපයකට පසු මියගිය තැනැත්තියගේ බෑනා නිවසට පැමිණ ඇති අතර, ඔහු නිවසේ සිටින විට හා ඔහුගේ නම කියැවෙන විට මියගිය තැනැත්තිය සුරතලයට ඇතිකළ ගිරා පැටියා කලබලයට පත්වන ආකාරය සෙසු ඥාතීන් නිරීක්ෂණය කර තිබේ.

මේ පිළිබඳ සැක සිතූ ඥාතීන් පිරිසක් ගිරා පැටියා පැත්තකට ගෙනගොස් නිවසට එන යන අයගේ නම් කියා සිටියද ඒවායින් ගිරවා කලබලයට පත් නොවූ බව කියැවෙයි. නමුත්, පෙරකී බෑනාගේ නම නැවත වරක් පවසන විට ගිරා පැටියා නැවත කලබලයටත්, විප්ක්ෂිප්තභාවයටත් පත්වූ බව මියගිය තැනැත්තියගේ මස්සිනා පවසයි.

"සැකයට තුඩුදුන් තැනැත්තාගේ නම කියවන විට ගිරවා යටිගිරියෙන් කෑ ගහනවා. අසාමාන්‍ය ලෙස හැසිරෙනවා. මේ තුළින් අපට විශාල සැකයක් ඇතිවුණා. ඒ අනුව, මේ තොරතුර අප පොලීසියට ලබාදුන්නා." යැයි ඔහු පවසයි.

මේ තොරතුරු මත පොලීසිය විසින් 35 හැවිරිදි බෑනා අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත්වන විට ඔහුගේ අතේ තුවාලයක්ද පැවතී ඇත. පොලීසියේ ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කළ මෙම තැනැත්තා පවසා ඇත්තේ රන් ආභරණ ලබාගැනීමට තමන් මේ මරණය සිදුකළ බවයි. ඔහුගේ අතේ වූ තුවාලය ඔහු මරණය සිදුකරන අවස්ථාවේදී මියගිය තැනැත්තිය සුරතලයට ඇතිකළ බල්ලා ඔහුව සපාකෑමෙන් ඇතිවූ තුවාලයක් බවද කියවුණි.

අග්‍රා පොලිස් ස්ථානාධිපති ෂාලාබ් මතූර් පවසා සිටියේ 'හීරා' (හින්දියෙන් දියමන්තිය තේරුම) නමැති ගිරා පැටියා ඝාතකයා අල්ලා ගැනීමට සහාය වූ බවයි.

"මරණයේ මුල සිටම අවශ්‍ය බොහෝ තොරතුරු ලබාදී තිබුනේ මේ ගිරා පැටියා විසිනුයි." ඔහු අවධාරණය කළේය.

ඇතැම් මිනිසුන්ට නොමැති කලගුණයක් තිරිසන් සතුන්ට ඇති බවත්, මිනිසුන් ලෝකයෙන් සැඟවීමට යන බොහෝ දේ තිරිසනුන්ට දැනෙන බවත් කීමට මේ සිදුවීමෙන් අපට උගත හැකි පාඩම් බොහෝය.



Recommended Articles