ගිනිගැනීමේ අවදානම් හේතුවෙන් උතුරුදිග ලන්ඩනයේ, කැම්ඩෙන් හි මහල් නිවාස කිහිපයක ජීවත්වන පිරිස් ආරක්ෂක පියවරක් ලෙස එම නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටියි.
කැම්ඩෙන් නගර සභාව පවසන්නේ නගරයේ මහල් නිවාස 4ක ජීවත් වූවන් මේ ආකාරයෙන් ඉවත්කිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව, මෙම ගොඩනැගිලිවල ජීවත් වූ පවුල් සඳහා තාවකාලික පියවරක් ලෙස අසල හෝටල්වල කාමර කුලියට ලබාදී ඇති බවද කියයි.
මෙම ගොඩනැගිලි සඳහා යොදා ඇති ක්ලැඩින් පසුගියදා ගින්නට හසුවූ ග්‍රෙන්ෆෙල් ගොඩනැගිල්ලේ ක්ලැඩින් හා සමාන වීම මේ ආකාරයෙන් එම නිවැසියන් ඉවත්කිරීමට හේතු වී තිබේ.
අදාල ක්ලැඩින් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී ඒවා නියමිත ගින ආරක්ෂණ තත්ත්වයට නොපැවති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම ගොඩනැගිලිවල ක්ලැඩින් සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් ඒවා ගින්නකදී ආරක්ෂාව සැලසෙන ආකාරයෙන් යළි ප්‍රතිස්ථාපනය කරන බව නගර බලධාරීහු පවසති.