ගල්ෆ් ඉල්ලීම් පිළිගැනීමට කටාරයට තවත් පැය 48ක්


කටාරය වෙත සෞදිය ඇතුළු අරාබි රාජ්‍යයන් හතරක් විසින් ලබාදුන් ඉල්ලීම් එකතුව පිළිගැනීමට හෝ තවදුරටත් සම්බාධකවලට මුහුණදීමට තවත් පැය 48ක කාලයක් ලබාදී තිබේ.

කටාරය වෙත ඉල්ලීම් 13ක යෝජනාවලියක් මෙම රාජ්‍යයන් විසින් ලබාදුන් අතර, එය පිළිගැනීම සඳහා කාලය ඉරිදායින් අවසන් විය.

මේ අතර, කටාරය පවසන්නේ ඔවුන්ගේ නිල ප්‍රතිචාරය ලිපියකින් කුවේටය වෙත භාරදීම අද (03දා) සිදුකරන බවයි.

කටාරයේ විදේශ අමාත්‍යවරයා කුවේටය වෙත පැමිණ මෙම ලිපිය භාරදීමට නියමිත අතර, එය කටාර් එමීර්වරයාගෙන්, කුවේට් එමීර්වරයාට යැවෙන ලිපියකි. කුවේට් එමීර්වරයා ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට මැදහත්කරුවෙකු ලෙස ක්‍රියා කරමින් සිටියි.

කෙසේ වෙතත්, පසුගිය සෙනසුරාදා කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රාහ්මන් බින් ජසිම් අල්-තානි පවසා සිටියේ ඔවුන් මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවයි. නමුත්, නිවැරදි රෙගුලාසි යටතේ මේ සම්බන්ධයෙන් කතිකාවතකට පැමිණීමට ඔවුන් එකඟ බව පැවසීය.

එමෙන්ම, කටාරය ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදීන් වෙත අරමුදල් සැපයීමේ චෝදනාවද හෙතෙම තරයේ ප්‍රතික්ෂේප කළේය.

කටාරය මේ වනවිට ගල්ෆ් කලාපයේ සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීරය සහ බහරේනය යන රටවල දැඩි රාජතාන්ත්‍රික හා ආර්ථික සම්බාධක රැසකට මුහුණ දී සිටියි.



Recommended Articles