සර්බියාවේ සාවා ගංගාව පිටාර ගැලීම හේතුවෙන් 'ගංවතුර රැල්ලක්' නමින් ඔවුන් හඳුන්වන හදිසි තත්ත්වයකට මුහුණදීම සඳහා එරට සහන සේවකයෝ කඩිනමින් සූදානම් වන බව වාර්තා වෙයි.
තවදුරටත් ගංගාවේ ජල මට්ටම ඉහළ ගියහොත් එරට විශාලතම විදුලි බලාගාරයද ජලයෙන් යටවන අවදානමක් මතුව තිබේ.
සතියක් මුළුල්ලේ පැවති දැඩි වැසිවලින් අනතුරුව බටහිර බෝල්කන් කලාපයේ හටගත් නායයෑම් හා ගංවතුර හේතුවෙන් මේ වනවිට 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව කියැවෙයි.
මේ වන විට සර්බියාවේ අගනුවර වර්ෂාපතනය අඩු වී ඇති නමුත් අසල්වැසි ක්‍රොයේශියාවේ සහ බොස්නියාවේ වැසි ජලය සාවා ගංගාවට එක්වනු ඇති බව කාලගුණ අංශ පෙන්වා දෙයි.
ප්‍රදේශයේ විපතට පත් පිරිස් අමතා ඔබ්රෙනෝවැක් නගරයේ සහන සේවකයෙක් පවසා සිටියේ, ඇතැම් ජනතාව අවදානම නොතකා තවදුරටත් රැඳී සිටින බවයි.
ගංගා ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් ඉහළයාම හේතුවෙන් ගංගා ඉවුරු පුපුරා යාමේ අවදානමක්ද ඇති වී තිබේ.