ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සිට බංග්ලාදේශය වෙත බ්‍රහ්මපුත්‍ර ගංගාව පිටාර යෑමත් සමග ඇති වූ ගංවතුරේ ගසාගෙන පැමිණි වල් අලියෙකු යළි ඉන්දියාවට රැගෙන යාම සඳහා එරට වනජීවී කණ්ඩායමක් බංග්ලාදේශය වෙත පැමිණ තිබේ.
ඉන්දියාවට බලපා ඇති අධික ගංවතුර තත්ත්වයත් සමග තම රැලෙන් වෙන්වී ගංවතුරේ ගසාගෙන විත් තිබූ මෙම හස්තියා බේරාගැනීම සඳහා දෙරටම දැඩි පරිශ්‍රමයක් ගන්නා බව ඉන්දීය වනජීවී නිලධාරීහු පවසති.
ඉන්දියාව හා බංග්ලාදේශය යන දෙරටේම අලි ගහණය පසුගිය කාලය පුරාවට දැඩිව ක්ෂය වීම නිසා හස්තීන් රැකගැනීමට එම දෙරටම දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටියි.
ඒ අනුව, මෙසේ ගංවතුරේ ගසාගෙන ආ අලියා බේරාගත හැකි ක්‍රමවේද සම්බන්ධයෙන් ඔවුන් තවමත් අධ්‍යයනය කරමින් සිටින බව ඇසෑම් හි වනජීවී ප්‍රධානියා පවසා තිබේ.
මේ අතර, ඉන්දියාව වෙත මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි නගරය සහ වෙරළාසන්න සංචාරක පාරාදීසයක් වන ගෝව යාකෙරෙන අධිවේගී මාර්ගයේ ගංගාවක් හරහා වැටී ඇති පාළමක් කඩා වැටීමෙන් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්වූහ.
පසුගිය බදාදා උදෑසන සිදුවූ මෙම අනතුරේ දී මගීන් රැගත් බස්රථ දෙකක් ජලය පිරී ගලායන ගංගාවට ඇද වැටුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මේ අතර, මියගිය පිරිස 22ක් ලෙස සඳහන් වුවත්, එම ප්‍රමාණය බොහෝ සෙයින් වැඩිවනු ඇති බව ඉන්දීය ජනතාව පවසයි.