කොරියා යාත්‍රා අනතුරට සම්බන්ධ පාසල සෝ සුසුම් මැද විවෘතවේ


දකුණු කොරියානු මගී යාත්‍රා අනතුර හේතුවෙන් මියගිය සිසුන් ඉගෙනගත් උසස් පාසල එම ඛේදවාචකයෙන් පසු නැවත විවෘත කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඩැන්වොන් උසස් පාසලේ සිසු සිසුවියන් 300ක් පමණ මෙම යාත්‍රාව මුහුදුබත් වනවිට එහි සිටි බව පැවසෙන අතර, ඉන් වැඩි සිසුන් පිරිසක් ජීවිතක්ෂයට හෝ අතුරුදන් වී ඇති බව පැවසෙයි.

පසුගිය සතියේ බදාදා දිනයේදී ජේජු දූපත් වෙත සංචාරය කරමින් තිබියදී මුහුදු බත්වූ යාත්‍රාවේ සිටි පිරිසෙන් 160ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ. නමුදු, කිමිදුම්කරුවන් තවදුටරත් මළ සිරුරු සොයා මෙහෙයුම් සිදුකරන බව වාර්තා වෙයි.

යාත්‍රාව මුහුදුබත් වන අවස්ථාවේ පුද්ගලයන් 476 දෙනෙකු එහි ගමන් කරමින් සිටි අතර, වැඩි පරිසක් යාත්‍රාව සම්පූර්ණයෙන් මුහුදුබත්වන විට එහි කොටුවී සිටි බව කියැවෙයි.

එහිදී බේරාගැනීමට හැකිවී තිබුනේ පුද්ගලයන් 174 දෙනෙකු පමණි. ඒ අනුව, සමස්තයක් ලෙස අතුරුදන් වූවන් සමග 300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පැහැදිලිය.

එමෙන්ම, ඩැන්වොන් උසස් පාසලේ සිසුන් හා ගුරුභවතුන් 250ක් පමණ මෙම අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විශ්වාස කෙරෙයි.

එමෙන්ම, දිවිබේරාගත්තවුන් වැඩි පිරිසක්ද තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පැවසෙන අතර, ඔවුන් නැවත පාසල් පැමිණියේද යන්න පැහැදිලි නැත.

යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේ එහි සිසුන් වැඩි දෙනා වයස අවුරුදු 16 හා 17 අතර වයසේ පසුවූවන් බව කියැවෙයි.

පාසල විවෘත වුවත්, පැමිණි බොහෝ සිසුන්ගේ මුහුණු අඳුරු වළාවකින් වැසී තිබෙන ආකාරය දැකිය හැකිවූ අතර, ජීවිතක්ෂයට හෝ අතුරුදන් වූ සිසුන් සිටි පන්ති කාමරවල ඔවුන්ගේ මේස මත මල් කළඹ තබා ඇති ආකාරය දැකිය හැකි විය.

මෙම අනතුර සම්පූර්ණයෙන්ම යාත්‍රාවේ කපිතාන්වරයාගේ හා කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා සිදුවූවක් බව මේ වනවිට අනාවරණය වෙයි.

 



Recommended Articles