දකුණු කොරියාවේදී මිනිස් ජීවිත 300ක් පමණ අහිමි කරමින් සිදුවූ සෙවොල් යාත්‍රා අනතුර හේතුවෙන් එරට වෙරළාරක්ෂක බලකාය විසුරුවා හැරීමට තීරණය කළ බව කොරියානු ජනාධිපතිනී පාක් ගුවෙන්-හයි පවසා සිටී.
රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ඇය මෙම අනතුර සම්බන්ධයෙන් නැවත වරක් ජනතාවගෙන් නිල වශයෙන් සමාව අයැද සිටීමටද කටයුතු කර තිබේ.
ඒ අනුව, ඉදිරියේදී මුදාගැනීමේ මෙහෙයුම් නව ආරක්ෂණ ඒජන්සියක් වෙත පැවරෙන අතර, පරීක්ෂණ මෙහෙයවීමේ කටයුතු පොලීසිය වෙත පැවරෙන බව ඇය කියා තිබේ.
පසුගිය අප්‍රේල් 16 වැනිදා සිදුවූ සෙවොල් යාත්‍රා අනතුර හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 281 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර, තවත් 23 දෙනෙකු අතුරුදන්ව සිටී.
“මේ අනතුර සිදුවීමත් සමග ඒ කෙරෙහි දක්වා අති අලස ප්‍රතිචාරයේ වගකීම මා වෙතත් පැවරෙනවා” යැයි ජනාධිපතිනිය පවසා තිබේ.
අනතුර සම්බන්ධයෙන් යාත්‍රාවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයේ තවත් තිදෙනෙකුට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරා තිබේ. එමෙන්ම කාර්යමණ්ඩලයේ තවත් 11 දෙනෙකුට වගකීම් පැහැර හැරීම යටතේ චෝදනා එල්ල වී තිබේ.
අනතුරින් දිවිගලවා ගත් පිරිස 172 ක් වන අතර, ඉන් 22 දෙනකුද යාත්‍රාවේ සිටි 29ක් වූ කාර්ය මණ්ඩලයෙන් පිරිසකි.