කොරියානු අර්ධද්වීපය තුළ යුද්ධයක් හෝ උණුසුම් තත්ත්වයක් ඇතිවීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, ඉන් කිසිවෙකු වාසියක් අත්කර නොගනු ඇති බවත් චීන ජනපති ෂී ජින්පින් අවධාරණය කරයි.
ආසියානු රටවල විදේශ ආමත්‍යවරු කිහිප දෙනෙකු හමුවීමෙන් පසුව චීන ජනාධිපතිවරයා මෙම කරුණු දැක්වීම කළේය.
"කොරියානු අර්ධද්වීපයේ සමීපතමයන් ලෙස මේ කලාපය තුළ යුද්ධයක් හෝ උණුසුම් තත්ත්වයක් ඇති වීමට අප කිසිසේත්ම ඉඩ තබන්නේ නෑ. මෙවැනි තත්ත්වයක් කිසිවෙකුට වාසිදායක නොවන බව අපේ හැඟීමයි" යනුවෙන් චීන ජනපතිවරයා පැවසීය.
උතුරු කොරියාව පසුගිය ජනවාරි මාසයේදී සිය සිවුවැනි න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සිදුකළ අතර, ඉන් පසුව පසුගිය කාලය පුරා විවිධ දිගුදුර මිසයිල අත්හදා බැලීමක්ද සිදුකරමින් කලාපයේ සිය යුද ශක්තිය විදහා දක්වන්නට විය.
කෙසේ වෙතත්, මෙය දකුණු කොරියාවට මෙන්ම ඇමෙරිකාවටද නොරිස්සුම් ඇති කළ සිදුවීමක් විය. කෙසේ වෙතත්, උතුරු කොරියාවේ සමීපතමයෙකු ලෙස කටයුතු කරන චීනයද මෙම අත්හදා බැලීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සිය විරෝධය පළ කළේය.